Monday, May 31, 2021

malki

 

මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා.....

 

මෙලොව උපන් සියලුම දරුවන් දෙමාපියන්ට මෙන්ම රටට ද මහගු සම්පතකි. දරුවන්ගේ හැකියාවන් මානසික මට්ටම් විවිධ වුවත් , විශේෂ අවශ්‍යතා සහිත දරුවකු වුවත් ඒ සියලුම දරුවන්ට අනන්‍ය වූ සුවිශේෂි දක්ෂතා තිබෙන්නට පුළුවන.

මොහොතක් සිතන්න. මගේ ඇගිලි සලකුණ මෙලොව වෙනත් කිසිදු පුද්ගලයෙකුට හිමි නැත. එලෙසින් මෙලොව උපන් සියලුම දෙනාට තමන්ටම අනන්‍ය වූ හැකියාවන් රැසක් පවතී. නමුත් පුද්ගලයෙකුගේ හැකියාවන් බුද්ධිමත් බව අප මනින්නේ ගණිතමය හැකියාව හා භාෂාමය හැකියාව මත පමණි. එහෙත් හොවාඩ් ගාඩ්න්ගේ බහුවිධ බුද්ධිය පිළිබඳ න්‍යාය මගින් ( Multiple Intelligent Theory) මිනිසා තුළ පවතින සුවිශේෂි හැකියාවන් මගින් පුද්ගල බුද්ධිය මැනිය යුතු බව පවසා ඇත.

හොවාඩ් ගාඩිනර් බුද්ධීන් වර්ග 08ක් ඉදිරිපත් කරයි.

·         අන්තර්  පුද්ගල බුද්ධිය - ගුරුවරුන්, උපදේශයකයන්, මනෝ විද්‍යාඥයින්

·         පුද්ගල ඇතුලාන්තර බුද්ධිය - ආගමික නායකයන්

·         කායික සංචනමය බුද්ධිය - නර්තන ශිල්පීන් , ක්‍රීඩකයන්, ශල්‍ය වෛද්‍යවරුන්, සොල්දාදුවන්

·         අවකාශමය බුද්ධිය - ගෘහ නිර්මාණ ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්, නගර නිර්මාණ ශිල්පීන්

·         සංගීතමය බුද්ධිය - සංගීතඥයන්, ගායකයන්

·         ගණිතමය / තර්කනමය බුද්ධිය -විද්‍යාඥයින්, ඉංචිනේරුවන්, ගණකාධිකාරිවරුන්

·         භාෂාමය බුද්ධිය -ලේඛකයන්, සංනිවේදකයන්

·         ස්වභාව ධර්ම බුද්ධිය - පරිසර විද්‍යාඥයන්, පරිසරවේදීන්

 

මේ අනුව පැහැදිලි වන්නේ අප ඕනෑම කෙනෙකුට යම් කිසි හෝ  දක්ෂතාවක් පවතින බවය.  බොහෝ දෙනාට තමන් සතු හැකියාවන් පිළිබඳ අවබෝධයක් නැත. එ නිසා අප, අප සතු හැකියාවන් සොයා ගැනීමට අප වෙහෙසිය යුතුය. විශේෂයෙන්ම දරුවන් ගේ දක්ෂතා ඔවුන් කුඩා කාලයේම හඳුනා ගැනීම වැදගත් වන්නේ ඔවුන්ගේ දකෂතා අනුව යොමු කළ යුතු ක්ෂේත්‍රයන් වටහා ගැනීමට පහසු වන නිසාය.

 

දරුවන් බුද්ධිමතුන් බවට පත් කරන්නට බොහෝ දෙමාපියන් උත්සාහ කරන්නේ පෙර පාසල හෝ පාසල් යාම ආරම්භ වීමත් සමගය. ඇතැම් දෙමව්පියන් දරුවන් අමතර පන්ති යවනන්නට පටන් ගන්නේ පෙර පාසලේ සිට ය. ශිෂ්‍යත්වයට ළමයින් සූදානම් කරන්නේ 1 ශ්‍රේණියේ සිටය. දරුවන් දිවා රාත්‍රී වෙහෙස කරවමින් ඔවුන්ට දරා ගත නොහැකි තරම් විෂය කරුණු ඔබ්බවමින් පීඩාවට පත් කරන දෙමව්පියෝ දරුවන් උගතුන් බුද්ධිමතුන් බවට පත් වෙතැයි සිතති.නමුත් මේ ක්‍රියාවලිය නිසා දරුවන් මානසික රෝගීන් වීම , අධ්‍යාපනය හෝ පාසල එපා වීම නිසා අනාගතය අඳුරු කරගත් දරුවන් ද බොහෝය. වසර 3න් පසු අප දරුවන්ගේ  බුද්ධිය වර්ධනය කරන්නට වෙහෙසුන ද එය සාර්ථක වන්නේ ඉතා අඩුවෙනි. එයට හේතුව නම් දරුවකු වයස අවු 3 වන විට මොළය වර්ධනය වීම 80% ක් පමණ අවසන් වීමයි.

 

 

මොළය වැඩෙන දින 1000

 

දරුවාගේ බුද්ධිය වර්ධනය කිරීම සඳහා අප උත්සාහ කළ යුත්තේ විවාහයට පත්වූ දිනයේ සිටය. දරුවෙක් මෙලොව එළිය දකින්නටත් පෙර දරුවාගේ බුද්ධි වර්ධනය කළ හැක්කේ කෙසේදැයි ඔබ සිතනු  ඇත. විවාහයට එළඹීමේ එක් අරමුණක් වනුයේ පරපුර ඉදිරියට පවත්වා ගෙන යාමය. එ නිසා මවක් පියෙක් වීමට අඹු සැමි යුවල පූර්ව සූදානමක් කළ යුතුය. 

 

එලෙස පූර්ව සූදානම් වීම කොසේ කළ යුතු දැයි ඔබට හැඟෙනු ඇත. මේ සඳහා ඔබ මවක පියෙකු වීමට මානසිකව සූදානම් විය යුතුය. දරුවෙකු දරාගෙන සිටීමටත් දරුවා බිහි කිරීමටත් දරුවා මැනවින් හදා වඩා ගැනීමටත් අවශ්‍ය මානසික සුවතාව ඔබ තුළ තිබිය යුතුය. මවක් වීමෙන් අනතුරුව අත්විඳින්නට සිදුවන කාර්ය බහුල ජීවිතයට හැඩ ගැහීමට ඔබට හැකි විය යුතුය. දරුවා වෙනුවෙන් අසීමිතව කැපවෙන්නට හැකියාව තිබිය යුතුය.එනම් තමන්ගේ විවේකය, විනෝදාංශ, ගමන් බිමන්, ඇඳුම් පැලඳුම් ආදී  නිතර නිතර විවිධ දේ මිලදී ගන්නට ඇති නැඹුරුව  ආදිය කැප කරමින් දරුවා වෙනුවෙන් කාලය ගත කරන්නට අවශ්‍ය මානසික සූදනම ඔබ ලග තිබිය යුතුය.

 

පියෙක් වෙන්නට නම් දරුවෙකුගේ වගකීම ජීවිත කාලයටම දරන්නට හැකියාව ඇති කර ගත යුතුය. වෙනදාට වඩා වගකීම් සහගතව අනවශ්‍ය වියදම් අතහැර මුදල් ඉතිරි කිරීම, ආයෝජනය කළ යුතුය. බිරිඳට වෙනදාට වඩා සහය වෙමින් ඇගේ මානසික සුවය පිළිබඳ සොයා බලමින් කටයුතු කළ යුතුය.   තම විනෝදාංශ, ගමන් බිමන් ආදියට වඩා තම පවුල කෙරෙහි බැඳියාවක් ඇති කරගනිමින් නිවසේ කටයුතු වලට සහාය දීම කළ යුතුය. මත් පැන්, මිතුරන් , සාද ආදියෙන්  දුරස්ව දරුවා ලැබෙන්නට සිටින අවධියේත් දරුවා ලැබුණු පසුත් කටයුතු කරන්නට අවශ්‍ය පසුබිම සකසා ගත යුතුය.

 

දෙදෙනාම කායික නිරෝගී බව පවත්වා ගත යුතුය. එමෙන්ම තමන් තුළ පවතින අයහපත් පුරුදු අතහරිමින් හැකිතාක් මනස නිරවුල්ව පවත්වා ගෙන යාම, ආගමික කටයුතු වල නිරත වීම යහපත් දරුවකු හදාවඩා ගැනීමට උපකාරී වනු ඇත.

 

දරුවා කුසට පැමිණ දිනයේ සිට දරුවා  කායික, මානසික සුවතාවෙන් යුතු ව වර්ධනය සඳහාත් දරුවාගේ බුද්ධිය වර්ධනය සඳහාත් පංචේනද්‍රියන් උත්තේජනය කිරීමට විවිධ ක්‍රියාකාරකම් කළ හැකිය.

 

මව් කුස තුළ සිටින දරුවාට අවට ශබ්දයන් ඇසෙන්නට පටන් ගන්නේ මාස 05න් පසුවය. නැළවිලි ගී ගැයීම, මව් ගුණ, පිය ගුණ ආදී සුභාවිත ගීත ඇසීම, මානසික සංයමන අභ්‍යාස කිරීම මගින් කුස තුළසිටින දරුවාගේ දකුණු මොළය සංවර්ධනය වේ. දරුවාගේ භාෂාමය හැකියාව, නිර්මාණශීලීත්වය, රිද්මය, සංගීතය,පරිකල්පනය ආදිය දකුණු මොළය ආශ්‍රිතව වර්ධනය වන්නකි.

 

ළදරු කාමරය සැකසීම සිදු කළ යුත්තේ ද මාස 05න් පසුවයි. විවිධ වර්ණ, විවිද හැඩතල යොදා ගනිමින් සිදු කරන නිර්මාණ ශීලී ක්‍රියාකාරකම් කුස තුළ සිටින දරුවාට දැනෙයි. දරුවා ඉපදුණු පසු මෙම විවිධ වර්ණ, හැඩතල  ෙදස නරඹින් දරුවා ඉෙගන ගනී.

 

              

 

 

Saturday, June 20, 2020

ළමා ආරක්ෂාව ගැන දැනුවත් වෙමු!



අපි අද ළමා අපයෝජන ගැන දැනුවත් වෙමු!

“අප“ යන්නෙන් වැරදි යන්නත් “ යෝජනය “ යන්නෙන් යොදවා ගැනීමත් අදහස් වෙනවා. මේ අනුව අපයෝජනය යනුවෙන් හඳුන්වන්නේ වැරදි ලෙස යොදවා ගැනීමක්. එනම් ළමයින් වැරදි ලෙස යොදවා ගන්නා ඕනෑම ක්‍රියවක් ළමා අපයෝජනයක් ලෙස හඳුන්වනවා.
ළමා අපයෝජන ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදන්න පුළුවන්.

·        ශාරීරික අපයෝජනය
·        මානසික අපයෝනය
·        ලිංගික අපයෝජනය හා නොසලකා හැරීම මේ වර්ග 4ට අයත් වෙනවා.

Ø ළමයින් විකිණීම
Ø ළමයින් ගණිකා වෘත්තියේ යෙදවීම
Ø යුධමය කටයුතු වලට ළමයින් යොදවා ගැනීම
Ø මත් ද්‍රව්‍ය දො හැරීම හා විකිණීම සඳහා යොදා ගැනීම
Ø සිඟමනෙහි යෙදවීම
වයස අවු 16 ට අඩු ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගැනීම කම්කරු නීතිය අනුව වරදක් වන අතර වයස අවු 16 – 18 අතර ළමයින් අනතුරු දායක රැකියාවන් වල යෙදවීමත් වරදක් වනවා.

අපි මුලින්ම කායික අපයෝජනය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද කියා විමසා බලමු.
ළමයෙකුට සිදු කරන ශාරීරික දඬුවම්,පහරදීම්, පිළිස්සීම් ආදී ශරීරයට හානි සිදු කරන ක්‍රියාවන් කායික අපයෝජන ලෙස හඳුන්වන්න පුළුවන්.

ශාරීරිකව සිදු කරන දඬුවම්, පහරදීම් ආදිය නිසා ඇති වන හානිය ඇතැම් විට යළි යථා තත්වයට පත් කරන්නට නොහැකි තත්වයක් ඇති කරන්නට පුළුවන්.

විදේශ රටක සිදුවූ සත්‍ය මෙන්ම ඉතා සංවේදී කතාවක් ඔට කියන්නම්.
ජිම් කියන්නේ වයස අවු 3ක ලස්සන දඟකාර කොළු පැටියෙක්. දවසක් ජිම්ගේ තාත්තා තම මෝටර් රථය සෝදමින් සිටියා. මිදුලේ සෙල්ලම් කරමින් සිටි ජිම් තාත්තා අසලට පැමිණියා. ඔහු අසල තිබූ පුංචි ගල් කැටයක් අහුලා ගෙන මෝටර් රථයේ බඳෙහි චිත්‍රයක් අඳින්නට පටන් ගත්තා. මෙය දුටු පියා මහත් කෝපයට පත් වුණා.
“ ජිම්, ඔයා මොනවද කරන්නේ? මගේ කාර් එක විනාස කරන්න එපා පුතේ“ ඔහු තරමක් කෝපයෙන් පැවසුවා.
පුංචි ජිම්ට තමන් කරමින් සිටි කාර්යේ බරපතල ව වැටහෙන්නේ නැහැ. ඔහු මඳ වේලාවක් නැවතී සිට යළිත් සුපුරුදු ක්‍රියාව කරන්න ගත්තා. පියා නැවතත් ජිම් ට අවවාද කළා. නමුත් ඔහු චිත්‍ර ඇඳීම නතර කළේ නැහැ. මෙයින් පියා අධිකව කෝපයට පත් වුණා.
“ ඉන්නවා ඔහොම, මං හොඳ වැඩක් කරන්නම්“ කියා පැවසූ ඔහු පුංචි පුතුගේ ළපටි දෑත් මෝටර් රථයේ බඳ මත තබා අතට අසුවූ ගලකින් ජිම්ගේ අත් වලට ගහන්න පටන් ගත්තා. ඔහුගේ කෝපය නිම වන විට ජිම්ගේ පුංචි ඇඟිලි තැලී තිබුණා. පියා කඳුළු සලමින් තම පුතුව රෝහලකට රැගෙන ගියා. තැලී තිබුණු ඇඟිලි දෙකක් කපා ඉවත් කරන්නට සිදු වුණා. වෙලුම් පටි යෙදූ දෑත් සහිතව සිටි පුංචි පුතු තුරුළු කරගනිමින් පියා හඬන්නට වුණා.

“ තාත්තෙ ඔයා දුක් වෙන්න එපා මට දැන් රිදෙන්නේ නැහැ“ ජිම් කිව්වා.
“ අනේ පුතේ ඔයාගෙ ඇඟිලි.......... ? පියා  කඳුළු අතරින් කිව්වා.
“ තාත්තා දුක් වෙන්න එපා.මං ලොකු වෙනකොට මගේ ඇඟිලිත් ආයෙ ලොකු වෙයිනෙ“ අහිංසක ජිම් කිව්වා“ පියා මහ හඬින් වැලපෙන්න ගත්තා.
 බොහෝ දෙනා දරුවන්ට ශාරීරිකව දඬුවම් පමුණුවන්නේ තම කෝපය පාලනය කර ගැනීමට නොහැකි නිසා. මේ නිසා සිදු කරන පහර දීම් වල දී දරුවන්ට සදාකාලික දුකක් උරුම විය හැකි වත් මේ කතා පුවතෙන් පැහැදිලි වෙනවා.

ළමයින් යනු වැඩිහිටියන් නොව වැරදි කරමින් අත්දැකීම් ලබමින් ඉගෙන ගන්නා අය ව වැඩිහිටියන් අවබෝධ කර ගත යුතුයි.

කායික දඬුවම් නිසා දරුවන් තුළ

  • Ø ශාරීරිකව තුවාළ ඇති කරයි
  • Ø දරුවා ලැජ්ජාවට හා අවමානයට ලක් කරයි.
  • Ø දරුවා තුළ සංකාව හා ද්වේශය ඇති කරයි
  • Ø ශාරීරික වදහිංසා දරුවන් ප්‍රචණ්ඩත්වයට යොමු කිරීමට හේතු වෙයි.
  • Ø කුඩා කළ වදහිංසා වලට ගොදුරු වූ අය පසු කාලීනව සිය අඹු දරුවන්ට ශාරීරිකව පීඩා ඇති කරන්නන් බවට පත් වීමේ ප්‍රවණතාවක් ඇත.
  • Ø වදහිංසාවට හා අවමානයට පත් වූ විට දඬුවම් දුන් තැනැත්තා කෙරෙහි වෛරයක් ඇති වෙයි.
  • Ø එකම වරදට නැවත නැවත දඬුවම් ලබන දරුවන් අපට දැකිය හකියි. මේ නිසා කායික දඬුවම් තුළින් දරුවන් නිවැරදි කළ නොහැකි බව මෙයින් පැහැදිලියි.
  • Ø ඇතැම් දරුවන්ට පහර කෑම විහිළුවට හා සිනාවට කාරණාවක් වන අතර මෙවන් ළමුන් අනෙක් ළමයින් අතර “ වීරයින්“ බවට පත්වෙයි.

මේ නිසා කායික දඬුවම් වෙනුවට දරුවන් ගේ චර්යාවන් සකස් කරන්නට වෙනත් නිර්මාණශීලී, මනෝ විද්‍යාත්මක උපක්‍රම භාවිතා කරමු!



Thursday, June 4, 2020

සොබා දහමට සිදු වන හානිය අවම කරමු


මේ දවස් ව පුදුම රස්නයක් තියෙන්නනේ. ගෙයක් ඇතුලෙ නම් විදුලි පංකාවක් නැතිව ඉන්න බැහැ. සුළඟත් අඩු නිසා සිරුරටත් දැනෙන්නේ හරිම අපහසුවක්. ගෙවල් හදන්න ගස් කපන විට මේ වගේ උණුසුම් කාලයක් ගැන හිතුවේ නැහැ නේද? පාරවල් හදන්න වගේම වෙනත් සංවර්ධන යෝජනා නිසාත් කොයි තරම් ගහකොල වනාන්තර විනාශ වෙන්න ඇති ද? ඒත මෙහෙම කා දැමූ ගස් වෙනුවට නැවතත් එක ගසක් හෝ සිටුවන්න පෙළඹුනේ නැහැ නේද?

අපට තියෙන්නේ ඉඩකඩ හොඳින් ඇති ගෙවත්තක් නම් පළතුරු ශාක, සෙවනට සුදුසු ශාක වර්ග වවන්න පුළුවන්. තුරු වදුලක දැනෙන සිසිලස සුවය අපට විදුලි පංකාවකින් හෝ වායු සමීකරණ යන්ත්‍රයකින් හෝ ගන්නට බැහැ. ඒ වගේම ගස සමග ගෙඩ නැගෙන පරිසර පද්ධතියත් අපූර්වත්වයක් ගෙනෙනවා.ගසෙහි කූඩු තනන කුරුල්ලන් ඔබ මො දුවන ලේණුන් ඇසටත් මනසටත් සුවයක් ගෙනෙනවා. වියලුණු කොල පසට එක්කරනවා. ගසෙහි පත්‍ර මගින් ඔක්සිජන් නිපදවෙනවා. මේ නිසා ගසක් කියන්නේ අමිල සම්පතක්.


ඉතා සීමිත ඉඩකඩ වුණත් හැකිතාක් ගස් කපන්නේ නැතිව ඉදිකිරීම් කටයුතු සිදු කරන්න හැකි නම් වටිනවා. ඉදි කිරීම් කටයුතු සිදු කරන ස්ථානයේ තිබෙන ගස් මැදි කරගෙන අපූරු කලාංගයක් ලෙසට ගෙන ගොඩනැගිලි ඉදි කිරීම අද නවතම විලාසිතාවක් වෙලා. ජපානයේ මිනිසුන් විශාල ගස් වල තමන්ගේ මිය ගිය මුතුන් මිත්තන් ජීවත් වන බව විශ්වාස කරන නිසා ඔවුන් විශාල ගස් කපන්නේ නැතිව ඒ ගස් වට කරගෙන නිවාස සහ ගොඩනැගිලි සාදන බව අසන්නට ලැබෙනවා. ඒ වගේම විදෙස් රට වල මාවත් මැද තිබෙන විශාල ගස් අපට දකින්නට ලැබෙනවා. ඇතැම් විට දුම්රිය මාර්ග දෙපස තිබෙන්නේ රූස්ස කැලෑවන්. මේ විදියට ඔවුන් පරිසරයට සිදුවන හානිය අවම වනසේ කටයුතු කරන්නට උත්සාහ ගන්නවා.



ස්වභාවික පරිසරය කෘත්‍රිම ලෙස නිවාස වල ගොඩනැගිලි වල මවනවට වඩා පරිසරයට ආරක්ෂා කිරීඹයි අප කළ යුතු වන්නේ. නමුත් අපට ඇතැම් විට ඉඩක සීමා විම නිසා ගස් කපා දමා ඉදි කිරීම් කරන්න සිදු වෙනවා.එවැනි අවස්ථාවක සොබාදහමට සිදුවන හානිය අවම වන ලෙස පිහිටි සොබා පරිසර කලාවක් ලෙසට ගෙන, එය අපූර්ව ගෘහ නිර්මාණ ශිල්පයක් වට පත් කරගෙන කටයුතු කළ හැකි නම් අපට සුවදායි පරිසරයක් බිහිවේවි.





Wednesday, April 3, 2019

කායිකව හා මානසිකව දරුවන් පෙළන දඬුවම වෙනුවට උපස්ථම්භන භාවිත කරමු!

මොනවද මේ උපස්ථම්භන?

කිසියම් චර්යාවක් ශක්තිමත් කිරීමට හෝ දුර්වල කිරීමට හේතු වන ක්‍රියාදාමයක් ලෙස උපස්ථම්භන සරළව හැඳින්විය හැකියි.
උපස්ථම්භන ලෙස අප මනෝ විද්‍යාවේදී මෙම ක්‍රියවලිය හැඳින්වුව ද අප නොදැනුවත්ව ම විවිධ අවස්ථා වලදී උපස්ථම්භන යොදා ගෙන තිබේ. මේ ලිපියේ අරමුණ උපස්ථම්භන සක්‍රීයව යොදා ගනිමින් ළමයෙකු තුළ යහපත් චර්යාවන් ඇති කිරීමත් අයහපත් චර්යාවන් ඉවත් කිරීමත් පිළිබඳ සාකච්ඡා කිරීමයි.

උපස්ථම්භන කායික හා මානසික ලෙස බෙදා දක්වයි.කායික උපස්ථම්භන යනු මිනිසාට ජීවත් වීමට අත්‍යවශ්‍ය වන ආහාර, ජලය. වාසස්ථාන වැනි මූලික අවශ්‍යතාවන් ය. එනම් කායික උපස්ථම්භන භාවිත කිරීමේ දී මෙම මූලික අවශ්‍යතා සැපයීම හෝ අවම කිරීම සිදු කරයි.

මානසික උපස්ථම්භන යනු  පුද්ගලයාට මානසිකව බලපාන සාධක උපස්ථම්භන ලෙස භාවිතා කිරීමයි.
උදා: ආදරය, ප්‍රශංසාව, විවේකය

*වචනයෙන් කරන අනුමත කිරීම් - උදාහරණ - ඉතාම හොඳින් ඔබ වැඩේ කළා, 
  • අනුමත කිරීමේ කෙටි වදන් - අති විශිෂ්ඨයි! අපූරුයි!
  • ශාරීරික සංඥා - මහපට ඇගිල්ල උඩට ඔසවමින් නියමයි! යනුවෙන් පෙන්වීම,
  • අගය කරන ක්‍රියාකාරකම් - පිටට තට්ටු කිරීම. අතට අත දීම.* ප්‍රශංසා කිරීම  - ප්‍රශංසා ලිපි ලබා දීම, ප්‍රසිද්ධ උත්සව වලදී හෝ පෞද්ගලිකව ප්‍රශංසා කිරීම
  • * බහුමාන - විභාග වලදී ලබා දෙන ශ්‍රේණි, පන්ති සාමාර්ථ, රාජ්‍ය සේවයේ ශ්‍රේණි ක්‍රමය, උසස් කිරීම්සේවය අගය කිරීම සඳහා ලබා දෙන නම්බු නාම, සම්මාන
  •  * සංඛේත ලබා දීම - සිසුනට ලබා දෙන හරි ලකුණු. තරු ලකුණු, හමුදා සේවයේ ලබදෙන පදක්කම් හා වර්ණ
* ටෝකන භාවිතය -  ටෝකන යනු ළමයින්ගේ “ ලට පට මල්ලේ“ ඇති සිප්පි කටු, කාසි. මුද්දර, ස්ටිකර්, පබලු ඇට, රබර් ඇට, මදටිය ඇට, පින්තූර ආදියයි. මේවාට ආර්ථික වටිනාකමක් නැති වුව ද විනෝදංශය සඳහා භාවිතා කරන බැවින් උපස්ථම්භන ලබා දීමට භාවිතා කළහැකිය.

කායික දඬුවම් වෙනුවට යම් කිසි චර්යාවක් වෙනස් කිරීමට හෝ  අලුතෙන් ඇති කිරීමට ඉහත කී අයුරින් උපස්ථම්භන භාවිත කළ හැකියි. 

උපස්ථම්භන වර්ග කිීපයකි. 
  • පරිභෝජනය කළහැකි උපස්ථම්භන - උදා - ආහාරයට ගත හැකි දේවල්
  • ක්‍රියාකාරකම්  - උදා - පොත් බලනවා, ක්‍රීඩා කරනවා
  • කාලය ගත කිරීමට ඇති ද්‍රව්‍ය - සෙල්ලම් බඩු, පාට පෙට්ටි
  • සමාජීය වැදගත්කමක් ඇති - ආදරණීය බව, පිළි ගැනීම, සිනහ වීම,
උපස්ථම්භන භාවිත කරමින් ළමයින් තුළ අපේක්ෂිත චර්යා ඇති කිරීම හෝ චර්යා වෙනස් කිරීම කරන්නේ කොහොමද?

ලකුණු සටහන් - Point chart

 උදා - පාසල් යාම ආරම්භ කළ ළමයෙකු ගේ දින චර්යාව  සකස් කරන ආකාරය

* උදෑසන 6 ට තනිවම අවදි වීම                                    -  ලකුණු 10
* තනිවම මුහුණ සෝදා ගෙන පාසල් යාමට සූදානම් වීම - ලකුණු 10
* උදෑසන ආහාරය ගැනීම                                             - ලකුණු 10
* ආහරයෙන් පසු භාවිතා කළ පිගන් හා කෝප්ප සේදීම - ලකුණු 10
* පාසලෙන් ලබා දුන්ගෙදර වැඩ අවසන් කිරීම              - ලකුණු  10
 මෙය තමන්ට අවශ්‍ය පරිදි  වගුවක් ආකාරයෙන් සකසා වෙනස් කිරීමට බලාපොරොත්තු වන චර්යාවන් සටහන් කොට සකසා ගත හැකිය. මාසයකට එකක් වශයෙන් සකස් කළ හැකි අතර මාසය අවසානයේ ලකුණු එකතු කළ යුතුය. ඉහත කී කාර්යන් අඩක් සම්පූර්ණ කරන්නේ නම් ලකුණු අඩක් ලබා දිය හැකිය. ලැබෙන ලකුණු අනුව මාසය අවසානයේ දරුවා අගය කර සුළු ත්‍යාගයක් ලබා දීම, විනෝද චාරිකාවක් රැගෙන යාම, කැමති ආහාරයක් සකසා දීම ආදියත් කළ හැකිය.

හොඳ හැසිරීම්  Good Behavior Jar


එකම ප්‍රමාණයේ බෝතල් කිහිපයක් ගෙන අලුතින් ඇති කළ යුතු හැසිරීම්  ලියූ පින්තූරයක් හෝ ලේබලයක් එම එකිනෙක බෝතල් වල අලවන්න.

උදා - කාමරය පිළිවෙලට තබා ගැනීම. කරුණාවන්ත වීම/ අනෙක් අයට උපකාර කිරීම, ආහාර ගත් බඳුන් සේදීම

මෙම බෝතල වලට දැමීමට හැකි පබලු, සිනා මුහුණු බැජ්, මදටිය ඇට හෝ රබර් ඇට වැනි දෙයක් ගන්න. ලේබල් කරන ලද බෝතල් වල සඳහන් ක්‍රියාවක් කළහොත් අදාල බෝතලයට පබලු ඇටයක් දැමීමට දරුවාට ලබා දෙන්න. සතිය අවසානයේ බෝතයේ පිරී ඇති  ප්‍රමාණයට අනුව ගැලපෙන සුලු තෑග්ගක්. ප්‍රිය කරන ආහාරයක්, ස්ටිකර් එකක් වැනි දෙයක් ලබා දෙන්න.

උපස්ථම්භන ලබා දීමේ දී සැලකිය යුතු විශේෂ කරුණු කිහිපයක් ලීනියර් විසින් පෙන්වා දී ඇත.

** ඉලක්ක ස්ථාපිත කිරීම.

යම් චර්යාවක් පුහුණු කිරීම සඳහා ඉලක්ක ස්ථාපිත කරයි.

උදා - විභාගය සමත් වීම - ඒ සාමාර්ථ 10ක් සමග විභාගය සමත් වීම,  රැකියාවක් ලබා ගැනීම -  ගුරුවරයෙකු වීම, මුදිරීම - මේ වසරේදී රු ලක්ෂයක් ඉතිරි කිරීම.

** ඉලක්කය සඳහා ඇති චර්යාව සමාන කොටස් වලට බෙදීම.

උදා - උසස් පෙළ විභාගය ඒ 3ක් සමග සමත්වීම -  වාර විභාගයේ දී සියලුම විෂයන්ට 70න් ඉහළ ලකුණු ලබා ගැනීම - වාර විභාගයේ දී පන්තියේ පළමු දහ දෙනා අතරට පැමිණීම

2.  ඉලක්කය -  පාසල් යාමට උදෑසන නැගිටීමට හුරු කිරීම
 සතියක් උදෑනම අවදිවීම - සති 2ක් උදෑසනම අවදිීවීම, මාසයක් උදෑසනම අවදි වීම, මාස කු උදෑසනම අවදිවීම.

** සෑම කොටසකට ම සමාන උපස්ථම්භන ලබා දීම.

කුඩා කුඩා ඉලක්ක සම්පූර්ණ කරන විට යම් යම් දිරි ගැන්වීම්, ත්‍යාග ලබා දීම.

** එක් එක් කොටස් සම්පූර්ණ කිරීමෙන් පසු අදාල උපස්ථම්භන ලබා දීම.
උදා - ඉලක්ක ගත කරන ලද චර්යාවන් සම්පූර්ණ කිරීමෙන් පසු අදාල ත්‍යාග,දිරි ගැන්වීම් ලබා දිය යුතුය.

උපස්ථම්භන ලබා දීමේදී සැලකියයුතු කරුණු
1.      අදාල ප්‍රතිචාරය දැක්වූ වහාම උපස්ථම්භන ලබා දීම.
උදා - පාසලෙන් ලබා දුන් ගෙදර වැඩ සිදු කළ විට ළමයා අගය කිරීම, තරුවක් ලබා දීම
පමා වී හෝ කල්ගත වී උපස්ථම්භන ලබා දෙන විට කුමන දේ සඳහා එය ලබා දේ දැයි අවබෝධයක් නොලැබේ.

2.      සෑම විටම උපස්ථම්භනය ලබන්නා අගය කරන දෙයක් විය යුතුය.
උදා - ඔවුන්ගේ ලට පට මල්ලලේ වඩාත් ප්‍රිය කරන දේවල්, විනෝදාංශ සඳහා භාවිතා කරන උපකරණ ආදිය

3.      අදාල චර්යාව අප බලාපොරොත්තු වන මට්ටමට නැත්නම් “ ඔබ පෙරට වඩා දියුණු වී සිටිනවා.දැන් ගොඩක් හොඳයි යනුවෙන් අගය කළ හැකිය.


උපස්ථම්භන භාවිතයට අපෙ රටෙන් උදාහරණ කිහිපයක්

හපනා කැලැන්ඩරය
රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන පාඨමාලාව යටතේ මව් වරුන්ට  තම දරුවන් ගේ පෝෂණය නංවාලීමට හඳුන්වා දුන් ක්‍රමයකි. ඉතා කුඩා දරුවන් කෑම කෑමට දක්වන අකමැත්ත වෙනස් කර ඔවුන් ආහාර  සිය කමැත්තනේම ගැනීම සඳහා යොමු කිරීම මෙමගින් සිදුවේ.

දිනය
චූටි හපනා
පොඩි හපනා
ලොකු හපනා
2019.10.25


*
2019.10,30
*


201911.01


*
මෙම කැලැන්ඩරය දරුවාට පෙනෙන තැනක එල්ලා තැබිය යුතුය. ඉන් පසු දරුවා ආහාර ගන්නා ආකාරය අනුව කැලන්ඩරය ලකුණු කළ යුතුය. ආහාර සිල්ලම ගත්විට ලොකු හපනා ලෙස හදුන්වාදෙයි. ලොකු හපනා 20ක් පැමිණි විට ඔහු ප්‍රිය කරන දෙයක් උපස්ථම්න වශයෙන් ලබා දෙයි.

දිනපතා පාසල් එන්නට යොමු කළ ලොසින්ජරය

අපේ රටේ එක්තරා සුවිශේෂී පුද්ගලයෙක් සිය ළමා කාලයේ දී පාසල් යාමට එතරම් කමැත්තක් දක්වා නැත. ඔහුගේ මාපියන්ට ද සිය දරුවන් පාසල් යැවීමේ වදගත්කම පිළිබඳ අවබෝධයක් තිබී නැත. නමුත් එම දෙමාපියන් දරුවන් සියලු දෙනා පාසල් යවා ඇත.
මුලින් කී පුද්ගලයා සිය ළමා කාලයේ දී ඉතා දුප්පත් දරුවෙක් ලෙස හැදී වැඩී ඇත. ඔහුට පාසල් යන්නට පාවහන් හෝ නිසි ලෙස ඇඳුම් තිබී නැත. මොහු ප්‍රාථමික පන්ති වල ඉගෙන ගන්නා කාලයේ දී පන්තිභාරව සිටියේ පබාවතී නම් ගුරුතුමියකි. ඇය ඉතා කරුණාවන්තය. මේ දරුවා දිනපතා පාසලට ඇඳගෙන පැමිණියේ බොත්තම් ගැලවී ගිය කිලුටු කමිසයකි. පබාවතී ගුරුතුමිය දරුවා තමා ළගට ගෙන කමිසය හැට්ටකටු කිහිපයකින් නිසි ලෙස සකසා “පුතා, හැමදාම ඉස්කෝලෙ එන්න ඕනෑ , කියා දරුවාගේ හිස අත ගා ඔහු අතට ලොසින්ජරයක් දෙයි. ඊලග දවසේ මේ දරුවා පැමිණෙන්නේ ද බොත්තම් ගැලවුණු කමිසය ඇඳගෙන ය. පෙර දින කමිසයට ගැසූ හැට්ටකටු කිසිවක් කමිසයේ නැත. ගුරුතුමිය මෙදිනත් කමිසයට හැට්ට කටු ගසා දරුවාට ලොසින්ජරයක් දෙයි.පබාවතී ගුරුතුමියගේ මෙම කාර්ය ඇගේ පන්තියෙන් දරුවා නික්ම යන තුරුම සිදුවේ. මේ දරුවා පාසලට පැමිණෙන්නේ ලොසින්ජරයට ඇල්මෙනි. නමුත් ඔහු වයසින් වැඩෙද්දී ඉගෙන ගැනීමේ වටිනාකම වටහා ගෙන අධ්‍යාපනය නිසි ලෙස ලබා ගෙන විශ්වවිද්‍යාලයට යාමට සමත් වෙයි. අද ඔහු මෙරටෙහි ඉහළම තනතුරක් දරමින් රටට සේවයක් සිදු කරයි. ඔහු පාරේ යන අවස්ථාවක හැට්ටකටු විකුණනු දුටුවහොත් ඒ සියල්ලම මිලදී ගෙන අල්මාරියේ ඇති බෝතලයට දමන්නේ පබාවතී ගුරුතුමිය සිහිපත් කරමිනි.

මේ දරුවා නිතිපතා පාසල් ගියේ පබාවතී ගුරුතුමියගේ කරණාවත් ඇය ලබා දුන් ලොසින්ජරය කෑමටත් ය.  එය මේ දරුවාට උපස්ථම්භනයක් විය.

මෙම ක්‍රමවේදය නිසා දරුවන් කායික මානසික අපහසුතාවයන්ට පත් නොකර අපට අවශ්‍ය චර්යාවන් දියුණු කිරීම සිදු කළ හැකිය. එමෙන්ම දරුවන් හික්මවීමට දෙමාපියන් හා ගුරුවරුන් ලෙස ගන්නා කායික හා මානසික වෙහෙසින් තොරව සතුටින් දරුවන් හා ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.


චාමිකා ජනානි ද සිල්වා ( BA, Diploma counseling & Psychotherapy.)



Wednesday, February 13, 2019

දුර්වල මව්පියභාවය නිසා දරුවන්ට ජීවිතය වැරදෙන හැටි

  • කොන්දේසි විරහිත ආදරය 
දුර්වල මව්පියභාවය නිසා දරුවන්ට ජීවිතය වැරදෙන හැටි

  • කොන්දේසි විරහිත ආදරය 
දරුවන්ට අප අසීමිතව ආදරය කළ යුතුය. නමුත්  මේ අසීමිත ආදරය ළමුන්ට අනිසි ලෙස බලපාන අවස්ථා තිබේ.
Ø  දරුවන් ඉල්ලන සෑම දෙයක්ම ලබා දීම.

දරුවන් කෙරෙහි පවතින අසීමිත ආදරය නිසාම බොහෝ දෙමාපියෝ ඔවුන් ඉල්ලන දෙය හොඳ හෝ නරක විමසීමකින් තොරව ලබා දෙයි. වර්තමානයේ බහුලව පවතින ගැටළුව වන්නේ නවීන ජංගම දුරකතන දරුවන්ට ලබා දීමයි. මෙහිදී තාක්ෂණය නිසි ලෙස භාවිතා කිරීමට පළපුරුද්දක් නොමැති දරුවන් එය අවභාවිතයට යොමු වෙයි. කුතුහලයෙන් පිරුණු ඔවුන් යූ ටියුබ් හරහා විවිධ සෙවුම් කරන විට හමුවෙන අසභ්‍ය වීඩියෝ පට නැරඹීට හුරුවෙයි. ඒවා එදිනෙදා ජීවිතයේ දී අත්හදා බැලීමට යොමු වෙයි. සමාජ ජාලා වෙබ් අඩවි  නිසි ලෙස පරිහරණය කිරීමට නොදැනීම නිසා ද ගැටළු ඇති වෙයි.

ඉල්ලන සෑම දෙයක්ම ලබා දෙන පරිසරයක යම් හෙයකින් තමන් ඉල්ලන දෙය ලබා දෙන්නට දෙමාපියන්ට නොහැකි වුවහොත් කුඩා දරුවන් නම් හඬා වැලපීම, බිම පෙරලීම, හැඬීම මගින් ද යොවුන් දරුවන් සිය දිවි හානි කරගන්නා බව පැවසීම, නිවසින් යන බවට තර්ජනය කිරීම වැනි චර්යා මගින් තමන්ට අවශ්‍ය දෙය ලබා ගැනීමට පෙළඹේ. මෙවන් අවස්ථා වල දී දරුවන්ට අවශ්‍ය දෙය ලබා දීම තුළින්, ඉහත කී චර්යා හෝ ඊට වඩා බිහිසුණු චර්යා ද දක්වමින් හොඳින් හෝ නරකින් තම අභිමතාර්ථයන් ඉටු කරගන්නට දිගින් දිගටම පෙරළඹේ.

Ø  දරුවාට ස්වාධිනව කටයුතු කිරීමට අවකාශය ලබා නොදීම.

දරුවාගේ සියලු කටයුතු මව හෝ පියා විසින් ඉටු කිරීම, දරුවාට තීරණ ගැනීමට ඉඩ නොදීම,  අසීමිත සීමා මායිම් මගින් අනවශ්‍ය ලෙස දරුවා ආරක්ෂා කිරීම තුළින් ගැටළු රැසක් පැන නැගෙයි.

තනිව තමන්ගේ කටයුතු සිදු කර ගැනීමට අපහසුවීම, එදිනෙදා ජිවිතයේ විවිධ අවස්ථා වල දී තීරණ ගැනීමට නොහැකි වීම/පසුබට වීම නිසා රැකියාව ද නිසි ලෙස කරගෙන යාමට නොහැකි වෙයි. මේ නිසා විවාහය තුළ ගැටළු ඇති වීම, දික්කසාද වීම හෝ විවවාහ නොවී සිටීමට ද පෙළඹිය හැකිය. සමාජය ගැන ඇති අල්ප දැනුම නිසා පහසුවෙන් රැවටීම් වලට ද ලක්විය හැකිය.

එක්තරා තරුණියකගේ සියලුම කටයුතු කර දෙන ලද්දේ මව විසිනි. ඇය උසස් අධ්‍යාපනය ලන සමයේ ද ඇයට මව විසින් ආහාර කැවිය යුතු විය.  ගමනක් බිමනක් යෑමේ දී ඇගේ ඇඳුම් පැළඳුම් පවා තෝරා දුන්නේ මව විසිනි. හදිසියේ මව රෝගාතුරව මිය ගියේ ය. ඉන් පසු මේ තරුණියට සිය නිවසේ කටයුතු කරමින් රැකියාව කිරීමට අපහසු තත්වයක් උදාවිය. ඇයට මවගේ වියෝවෙන් පසු ස්වාධිනව කටයුතු කරන්නට බොහෝ කලක් ගත විය. මේ නිසා ඇයට විවාහයක් පිළිබඳ සිතන්නට ද නොහැකි විය. අනෙකෙකු මත යැපෙන මේ පෞරුෂය Dependent Personality ලෙස හඳුන්වයි.

  • දැඩි ලෙස දඬුවම් කිරීම
නිරන්තරයෙන් දඬුවම් වලට ලක් වන දරුවන් බියෙන් පසුවේ. ඔවුන්ගේ ආත්මාභිමානය බිඳ වැටේ. නිරන්තරයෙන් පහර දීම් ඇතුළු කායික හිංසනයන්ට ලක්වීම, මානසික  පීඩනයට ලක්වීම, වාචික හිංසනයන්ට ගොදුරු වීම නිසා ඇතැම් ළමුන්ට දඬුවම් සාමාන්‍යකරණය වීමෙන් දඬුවමට බිය නොමැති තත්ත්වයක් ඇතිවේ. එවිට ඔවුන් වැඩිහිටියන් වූ විට සමාජ විරෝධී චර්යා ( Anti social Behavior) වලට යොමු වීමට නැඹුරුතාවක් ඇති වේ. එමෙන්ම වැඩිහිටියන් වූ පසු තමා අත්විඳි හිංසනයන්ට තම දරුවන් ද ලක් විය යුතු බව සිතා ඔවුන්ව හිංසනයට ලක් කිරීමට පෙළඹේ.
එබැවින් දරුවන් යහමගට ගැනීම සඳහා නිර්මාණශීලී නව දඬුවම් ක්‍රම භාවිතා කළ යුතුය.
උදා - පාසලෙන් දුන් ගෙදර වැඩ නොකර රූපවාහිනී නරඹන්නේ නම් එදින  සියල්ලෝම නිවසේ රූපවාහිනිය නැරඹීම නතර කිරීම
පාඩම අහගෙන ඉන්නේ නැතිව කරදරකාරී ලෙස හැසිරෙන ළමයෙකුට පන්තියේ ඉදිරියට ඇවිත් අදාල විෂය ගැන කතාවක් කරන්නට දීම.

  • දෙමාපියන්ගේ හැසිරීමේ ගැටළු
දරුවන් සමාජානුයෝජනය වන්නේ දෙමාපියන් ඇසුරෙනි. එනිසා දෙමාපියන්ගේ චර්යාව සෘජුවම ළමයින්ට බලපායි.
Ø  දෙමාපියන් නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගැනීම.
දෙමාපියන් එකිනෙකාට ගරු නොකිරීම, පියා විසින් මවට පහර දීම, රණ්ඩු වීම, පියා මත්පැන් පානය කිරීම නිසා ඇති වන ගැටුම්, ආර්ථික ගැටළු, අනියම් සම්බන්ධතා නිසා ඇති වන ගැටළු ආදී නොයෙක් කරුණු නිසා දෙමාපියන් නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගැනීම නිසා ළමයින්ට නිවසේ රැඳී සිටීමට පවා අපහසු තත්වයක් ඇති වේ.  අධ්‍යාපනය කෙරෙහි ඇති උනන්දුව නැතිව යාම, නිරන්රයෙන් තමා අනාරක්ෂිත  බව හැඟීම, ක්ලමතකාරී (Stress) තත්ව වලට පත්වීම ආදී අහිතකර බලපෑම් ඇති විය හැකිය. මොවුන් වැඩිහිටියන් වූ පසුව සිය පවුල් සංස්ථාව තුළ දෙමාපියන්ගේ චර්යාවන් අනුකරණය කිරීමට ද පෙළඹිය හැකිය.
Ø  මව හෝ පියා විසින් දරුවන් ඉදිරියේ එකිනෙකා විවේනය කර ගැනීම.

උදා - අම්මට කවදාවත් රසට උයන්න බෑ, අම්මට කිසි වැඩක් හරියට කරන්න බෑ , අම්ම හරි මෝඩයි, තාත්තා බේබද්දෙක්, තාත්තා මුදල් නාස්ති කරනවා

Ø  මව සහ පියාගේ වැරදි හැසිරීම්

පියාගේ බීමත් කම, අනියම් සම්බන්ධතා,

  • ළමා අපයෝජනය
Ø  කායික අපයෝජනය
කායික අපයෝජනය යනු දරුවන්ට කායික දඬුවම් ලබා දීමයි.

Ø  මානසික අපයෝජනය
දරුවන් මානසිකව හිංසනයට ලක් කිරීමයි.
උදා - දරුවන්ට සතුන්ගේ නම් වලින් ඇමතීම, ඔවුන් මෝඩයි කීම, අවලස්සනයි කීම, අදක්ෂයි කීම, සැර වැර කිරීම

Ø  ලිංගික අපයෝජනය
මෙය ආකාරය දෙකකට සිදු වේ.
§  ස්පර්ශයක් රහිතව
අසභ්‍ය වීඩියෝ පට පෙන්වීම. අසභ්‍ය පින්තූර සඟරා පෙන්වීම, ලිංගිකත්වය හුවා දක්වන වචන, විහිළු කිරීම

§  ස්පර්ශයක් සහිතව
දරුවා ලවා තම ලිංගික අවයව හෝ ශරීරය ස්පර්ශ කරවා ගැනීම, දරුවාගේ ලිංගික අවයව, ශරීරය ස්පර්ශ කිරීම, ලිංගිකව එක්වීම.

Ø  නොසලකා හැරීම
ආබාධිත ළමයින් නොසලකා හැරීම, දරුවන්ට අවශ්‍ය  ආදරය,ආහාර, ආරක්ෂාව, අධ්‍යාපනය ආදිය ලබා නොදීම

v  ළමා අපයෝජනයේ අහිතකර ප්‍රතිඵල

v   කායික අපයෝජනය -
o   සමහර කායික දඬුවම් නිසා නැවත සකස් කළ නොහැකි ශාරීරික දුර්වලතා ඇති වීම.
o   පසු කාලීනව තමන්ගේ අඹු දරුවන්ට ද කායික හිංසා ඇති කිරීම.
o   පිරිසක් ඉදිරියේ දඬුවම් ලබා දීම නිසා අවමානයට ලක්වීම.
o   තමන් අවමානයට පත්වීම නිසා දඬුවම් දුන් තැනැත්තා කෙරෙහි වෛරයක් ඇති වීම.
o   දඬුවම සාමාන්‍යකරණය වීම නිසා ඇතැම් දරුවන්ට දඩුවම විහිලුවක් බවට පත් වීම. හා මේ නිසා ඔවුන් අනෙක් ළමයින් අතර වීරයන් වට පත්වීම.
o   පහර කෑම විහුලුවක් බවට පත්වීම නිසා වැඩිහිටියන් කෝප ගැන්වීමට එකම වරද නැවත නැවත කිරීමට පෙළඹීමෙන් ඔවුන් විනෝදයක් ලැබීම.
පෞරුෂ දුර්වලතා ඇති වීම.
v  මානසික අපයෝජනය
ඉහත සඳහන් කරන ලද කරුණු මෙයටද අදාල වන අතර ඇතැම් විට පහර කෑම් වලට වඩා මානසික වශයෙන් සිදු කරන හිංසාවන් නොමැකෙන ලෙස මතකයේ රැඳෙමින් දරුවන් ක්ලමතකාරී තත්ත්ව වලට හා ඉච්ඡාභංගත්වයට පත්විය හැකිය.

o   ලිංගික අපයෝජනය -
o    වැඩිහිටියෙකු වූ පසු මොවුන් ද ළමා අපයෝජකයන් වීමේ ප්‍රවණතාවක් දක්නට ඇත.
o   චර්යාත්මක අක්‍රමතා ඇති වීම.
o   නිතර නිතර ලිංගික අපයෝජනයට ලක්වීම නිසා ලිංගිකව බෝවන රෝග වලට ගොදුරු වීමේ අවධානම.
o   ගැබ් ගැනීම.
o   අපචාරී ක්‍රියා වලට හුරු වීම.
o   සිය දිවි නසා ගැනීමට පෙළඹීම ද විය හැකිය.
o   මානසික රෝග ඇති වීමේ අවධානම.


  • පරම්පරා ගැටුම
දෙමව්පියන්ගේ රුචි අරුචිකම්, සිරිත් විරිත් හා ළමයින්ගේ රුචි අරුචිකම් වෙනස් වීම නිසා ගැටළු ඇති වේ. මෙහි දී දරුවන්ගේ මානසික තත්වය මැනවින් වටහා ගෙන ඔවුන්ට නිවැරදිව මග පෙන්වා දීම අවශ්‍යය. ඔවුන්ට අණ දීම වෙනුවට කළ යුතු දෙය නිවැරදිව පැහැදිලිව ප්‍රකාශ කිරීම,  පවුලේ යම් කිසි තීරණයක් ගැනීමේ දී දරුවන්ගෙන් ද අදහස් විමසීම කළ යුතුය. ඔවුන්ගේ තීරණ වැරදි නම් ඒවා වැරදි වීමට හේතු කරුණාවෙන් පැහැදිලි කිරීම කළ යුතුය.
  • දෙමව්පියන්ගේ බලාපොරොත්තු දරුවන්ගෙන් ඉටු කර ගැනීමට යාම.
දෙමාපියන් තමන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ බලාපොරොත්තු දරුවන් ලවා ඉටු කර ගැනීමට යෑම තුළින් දරුවන් ක්ලමතකාරී තත්ව වලට පත්වේ.
උදා - උසස් පෙළ කලා විෂයන්ට දක්ෂතාවය දක්වන හා එම විෂයන්ට ඇළුම් කරන ළමයෙකු විද්‍යා හෝ ගණිත විෂයන් කිරීමට පෙළඹවීම.
මෙහිදී දරුවා තමන්ට අපහසු විෂයක්  ඉගෙන ගන්න උත්සාහ කිරීම නිසා ඉච්ඡාභංගත්වයට පත් වීම සිදුවේ.
  • සංසන්දනය
අනෙකුත් ළමයින් හා සංසන්දනය කිරීම නිසා දරුවන්ගේ ආත්ම අභිමානය බිඳ වැටී ඉච්ඡාභංගත්වයට පත් වේ. 
උදා - ඔයා සමන් වගේ නෙමේ හරිම මෝඩයෙක්.ඔයාට කිසි දෙයක් බෑ. බලන්න සමන් හැමදාම පන්තියේ පළවෙනියා.
සෑම දරුවෙකුටම අනන්‍ය වූ දක්ෂතාවන් පවතින නිසා එම දක්ෂතාවන් මැනවින් හඳුනාගෙන ඔවුන් දක්ෂතා දක්වන ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියට යන්නට ඔවුන්ට මග පෙන්විය යුතුය.
  • භුමිකා විසරණය
පවුලේ ප්‍රධනත්වය මව ගැනීම හා පියා අප්‍රධාන වීම නිසා එම පවුලේ ගැහැණු ළමයින් මව මෙන් සියලු කාර්යන්හි දී මුල් තැන ගන්නට වගකීම් දරන්නට හුරුවෙයි. එවිට මෙම දියණියන් විවාහ වූ විට පවුලේ මූලිකත්වය ගැනීම පිළිබඳව සහකරු හා ගැටෙයි. පියා මිය ගිය හෝ හැර ගිය පවුල්වල ද මේ තත්වය ඇති විය හැකිය. මෙම පවුල් වල පිරිමි ළමයින් විවාහ වූ පසු තීරණ ගැනීම, විවිධ කාරයන්හි දී මූලිකත්වය ගැනීම, වගකීම් දැරීමෙන් ඈත්ව එම කටයුතු බිරිඳට පැවරීම නිසා ද ගැටළු මතුවේ.
·        දැනෙන ලෙස ආදරය නොකිරීම.

දරුවන්ට දෙමාපියන්ගේ ආදරය නොදැනුණ හොත් ඔවුන් සිතන්නේ දෙමාපියන් තමන්ට ආදරය නොකරන බවයි. මේ නිසා පිටතින් ආදරය සොයන්නට ඔවුන් පෙළඹෙයි. මෙම හිදැස අවබෝධ කරගන්නා අපයෝජකයෝ විවිධ ක්‍රම මගින් ඔවුන් ට ආදරය කරන බව පෙන්වා දරුවන්ට සමීප වී තම පහත් ආශාවන් සපුරා ගනියි. එබැවින් විශේෂයෙන් ම යොවුන් දරුවන්ට ද දැනෙන ලෙස ආදරය කිරීම අත්‍යවශ්‍යය.

එබැවින් දෙමපියන් වශයෙන් කටයුතු කිරීමේ දී දරුවන් මූලික කර ගනිමින් ඔවුන්ගේ යහපැවැත්ම සඳහා දෙමාපියන් තමන්ගේ චර්යාවන් සිරිත් විරිත් පුරුදු ආදිය වෙනස් කර ගැනීම ඉතා වැදගත්ය. මේ සඳහා ප්‍රජාතාන්ත්‍රික පවුල් ක්‍රමයක් ගොඩ නගා ගැනීම වැදගත් වේ.

ප්‍රජාතාන්ත්‍රික පවුලක ලක්ෂණ



ü  මෙහි දී බලය සඳහා දෙමාපියන් අතර අර්බුදයක් නැත. අවස්ථානුකූලව දෙදෙනාගෙන් එක් අයෙකු මූලිකත්වය ගනී.
ü  සාකච්ඡා මාර්ගයෙන් පවුලට අවශ්‍ය ආචාරධර්ම ගොඩ නගා ගැනීම.
උදා -
·                  එකිනෙකාට ගරු කිරීම
·                  නිවසෙන් පිටතට යන විට දැනුවත් කිරීම
·                  පවුලේ ගැටළු එකිනෙකා සාකච්ඡා කිරීම
ü  එකිනෙකාට සවන් දීම.
දරුවන් දෙමාපියන්ටත් ‍දෙමාපියන් දරුවන්ටත් සවන් දීම, හැඟීම් පිට කිරීමට අවස්ථාව ලබා දීම.
ü  සතියකට වරක් පවුලේ සාමාජික හමුවක් පවත්වා ගැටළු සාකච්ඡා කිරීම, නව නීති පැනවීම, පවතින නීති වෙනස් කිරීම, නව යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම.
ü  තීරණ ගැනීමේ දී සියලු දෙනාගෙන් ම අදහස් විමසීම.
ü  පියා හෝ මව විසින් පැනවූ නීති මව හෝ පියා නැති විටත් පිළිපැදීම.
ü  සියලු දෙනාටම වගකීම් පවරා තිබීම. මෙමගින් ස්වාධීනව කටයුතු කිරීම හා නායකත්වය පිළිබඳව ළමයා ඉගෙන ගනී.
ü  වැරැද්දට දඬුවම් ලබා දීම හා දඬුවම් ලැබෙන බව දරුවන් දැනුවත් කර තිබීම. මෙම දඬුවම් නිර්මාණශීලී මෙන්ම දරුවා සංවර්ධනය වන දඬුවම් විය යුතුයි.
ü  දරුවන් ගැන නිතර සෙවිල්ලෙන් සිටටීම හා ඒ බව පැවසීම.
ü  ආදරය, විනෝදය  සඳහා අවස්ථා පැවතීම.
ü  ආදරය, විනෝදය හා සීමාවන් පැනවීම ආදිය සමබරව පවත්වා ගැනීම.
ü  දෙමාපියන් දරුවන්ට ආදර්ශවත් ලෙස කටයුතු කිරීම
මෙම කරුණු අනුගමනය කිරීමෙන් සතුටින් දිවිගෙවන ගැටුම් ඉතා අවම පවුල් පරිසරයක් ගොඩ නගා ගැනීමට හැකි වේ.


------------ චාමිකා ජනානි ද සිල්වා (Diploma in counseling & psychotherapy--------