Wednesday, February 13, 2019

දුර්වල මව්පියභාවය නිසා දරුවන්ට ජීවිතය වැරදෙන හැටි

  • කොන්දේසි විරහිත ආදරය 
දුර්වල මව්පියභාවය නිසා දරුවන්ට ජීවිතය වැරදෙන හැටි

  • කොන්දේසි විරහිත ආදරය 
දරුවන්ට අප අසීමිතව ආදරය කළ යුතුය. නමුත්  මේ අසීමිත ආදරය ළමුන්ට අනිසි ලෙස බලපාන අවස්ථා තිබේ.
Ø  දරුවන් ඉල්ලන සෑම දෙයක්ම ලබා දීම.

දරුවන් කෙරෙහි පවතින අසීමිත ආදරය නිසාම බොහෝ දෙමාපියෝ ඔවුන් ඉල්ලන දෙය හොඳ හෝ නරක විමසීමකින් තොරව ලබා දෙයි. වර්තමානයේ බහුලව පවතින ගැටළුව වන්නේ නවීන ජංගම දුරකතන දරුවන්ට ලබා දීමයි. මෙහිදී තාක්ෂණය නිසි ලෙස භාවිතා කිරීමට පළපුරුද්දක් නොමැති දරුවන් එය අවභාවිතයට යොමු වෙයි. කුතුහලයෙන් පිරුණු ඔවුන් යූ ටියුබ් හරහා විවිධ සෙවුම් කරන විට හමුවෙන අසභ්‍ය වීඩියෝ පට නැරඹීට හුරුවෙයි. ඒවා එදිනෙදා ජීවිතයේ දී අත්හදා බැලීමට යොමු වෙයි. සමාජ ජාලා වෙබ් අඩවි  නිසි ලෙස පරිහරණය කිරීමට නොදැනීම නිසා ද ගැටළු ඇති වෙයි.

ඉල්ලන සෑම දෙයක්ම ලබා දෙන පරිසරයක යම් හෙයකින් තමන් ඉල්ලන දෙය ලබා දෙන්නට දෙමාපියන්ට නොහැකි වුවහොත් කුඩා දරුවන් නම් හඬා වැලපීම, බිම පෙරලීම, හැඬීම මගින් ද යොවුන් දරුවන් සිය දිවි හානි කරගන්නා බව පැවසීම, නිවසින් යන බවට තර්ජනය කිරීම වැනි චර්යා මගින් තමන්ට අවශ්‍ය දෙය ලබා ගැනීමට පෙළඹේ. මෙවන් අවස්ථා වල දී දරුවන්ට අවශ්‍ය දෙය ලබා දීම තුළින්, ඉහත කී චර්යා හෝ ඊට වඩා බිහිසුණු චර්යා ද දක්වමින් හොඳින් හෝ නරකින් තම අභිමතාර්ථයන් ඉටු කරගන්නට දිගින් දිගටම පෙරළඹේ.

Ø  දරුවාට ස්වාධිනව කටයුතු කිරීමට අවකාශය ලබා නොදීම.

දරුවාගේ සියලු කටයුතු මව හෝ පියා විසින් ඉටු කිරීම, දරුවාට තීරණ ගැනීමට ඉඩ නොදීම,  අසීමිත සීමා මායිම් මගින් අනවශ්‍ය ලෙස දරුවා ආරක්ෂා කිරීම තුළින් ගැටළු රැසක් පැන නැගෙයි.

තනිව තමන්ගේ කටයුතු සිදු කර ගැනීමට අපහසුවීම, එදිනෙදා ජිවිතයේ විවිධ අවස්ථා වල දී තීරණ ගැනීමට නොහැකි වීම/පසුබට වීම නිසා රැකියාව ද නිසි ලෙස කරගෙන යාමට නොහැකි වෙයි. මේ නිසා විවාහය තුළ ගැටළු ඇති වීම, දික්කසාද වීම හෝ විවවාහ නොවී සිටීමට ද පෙළඹිය හැකිය. සමාජය ගැන ඇති අල්ප දැනුම නිසා පහසුවෙන් රැවටීම් වලට ද ලක්විය හැකිය.

එක්තරා තරුණියකගේ සියලුම කටයුතු කර දෙන ලද්දේ මව විසිනි. ඇය උසස් අධ්‍යාපනය ලන සමයේ ද ඇයට මව විසින් ආහාර කැවිය යුතු විය.  ගමනක් බිමනක් යෑමේ දී ඇගේ ඇඳුම් පැළඳුම් පවා තෝරා දුන්නේ මව විසිනි. හදිසියේ මව රෝගාතුරව මිය ගියේ ය. ඉන් පසු මේ තරුණියට සිය නිවසේ කටයුතු කරමින් රැකියාව කිරීමට අපහසු තත්වයක් උදාවිය. ඇයට මවගේ වියෝවෙන් පසු ස්වාධිනව කටයුතු කරන්නට බොහෝ කලක් ගත විය. මේ නිසා ඇයට විවාහයක් පිළිබඳ සිතන්නට ද නොහැකි විය. අනෙකෙකු මත යැපෙන මේ පෞරුෂය Dependent Personality ලෙස හඳුන්වයි.

  • දැඩි ලෙස දඬුවම් කිරීම
නිරන්තරයෙන් දඬුවම් වලට ලක් වන දරුවන් බියෙන් පසුවේ. ඔවුන්ගේ ආත්මාභිමානය බිඳ වැටේ. නිරන්තරයෙන් පහර දීම් ඇතුළු කායික හිංසනයන්ට ලක්වීම, මානසික  පීඩනයට ලක්වීම, වාචික හිංසනයන්ට ගොදුරු වීම නිසා ඇතැම් ළමුන්ට දඬුවම් සාමාන්‍යකරණය වීමෙන් දඬුවමට බිය නොමැති තත්ත්වයක් ඇතිවේ. එවිට ඔවුන් වැඩිහිටියන් වූ විට සමාජ විරෝධී චර්යා ( Anti social Behavior) වලට යොමු වීමට නැඹුරුතාවක් ඇති වේ. එමෙන්ම වැඩිහිටියන් වූ පසු තමා අත්විඳි හිංසනයන්ට තම දරුවන් ද ලක් විය යුතු බව සිතා ඔවුන්ව හිංසනයට ලක් කිරීමට පෙළඹේ.
එබැවින් දරුවන් යහමගට ගැනීම සඳහා නිර්මාණශීලී නව දඬුවම් ක්‍රම භාවිතා කළ යුතුය.
උදා - පාසලෙන් දුන් ගෙදර වැඩ නොකර රූපවාහිනී නරඹන්නේ නම් එදින  සියල්ලෝම නිවසේ රූපවාහිනිය නැරඹීම නතර කිරීම
පාඩම අහගෙන ඉන්නේ නැතිව කරදරකාරී ලෙස හැසිරෙන ළමයෙකුට පන්තියේ ඉදිරියට ඇවිත් අදාල විෂය ගැන කතාවක් කරන්නට දීම.

  • දෙමාපියන්ගේ හැසිරීමේ ගැටළු
දරුවන් සමාජානුයෝජනය වන්නේ දෙමාපියන් ඇසුරෙනි. එනිසා දෙමාපියන්ගේ චර්යාව සෘජුවම ළමයින්ට බලපායි.
Ø  දෙමාපියන් නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගැනීම.
දෙමාපියන් එකිනෙකාට ගරු නොකිරීම, පියා විසින් මවට පහර දීම, රණ්ඩු වීම, පියා මත්පැන් පානය කිරීම නිසා ඇති වන ගැටුම්, ආර්ථික ගැටළු, අනියම් සම්බන්ධතා නිසා ඇති වන ගැටළු ආදී නොයෙක් කරුණු නිසා දෙමාපියන් නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගැනීම නිසා ළමයින්ට නිවසේ රැඳී සිටීමට පවා අපහසු තත්වයක් ඇති වේ.  අධ්‍යාපනය කෙරෙහි ඇති උනන්දුව නැතිව යාම, නිරන්රයෙන් තමා අනාරක්ෂිත  බව හැඟීම, ක්ලමතකාරී (Stress) තත්ව වලට පත්වීම ආදී අහිතකර බලපෑම් ඇති විය හැකිය. මොවුන් වැඩිහිටියන් වූ පසුව සිය පවුල් සංස්ථාව තුළ දෙමාපියන්ගේ චර්යාවන් අනුකරණය කිරීමට ද පෙළඹිය හැකිය.
Ø  මව හෝ පියා විසින් දරුවන් ඉදිරියේ එකිනෙකා විවේනය කර ගැනීම.

උදා - අම්මට කවදාවත් රසට උයන්න බෑ, අම්මට කිසි වැඩක් හරියට කරන්න බෑ , අම්ම හරි මෝඩයි, තාත්තා බේබද්දෙක්, තාත්තා මුදල් නාස්ති කරනවා

Ø  මව සහ පියාගේ වැරදි හැසිරීම්

පියාගේ බීමත් කම, අනියම් සම්බන්ධතා,

  • ළමා අපයෝජනය
Ø  කායික අපයෝජනය
කායික අපයෝජනය යනු දරුවන්ට කායික දඬුවම් ලබා දීමයි.

Ø  මානසික අපයෝජනය
දරුවන් මානසිකව හිංසනයට ලක් කිරීමයි.
උදා - දරුවන්ට සතුන්ගේ නම් වලින් ඇමතීම, ඔවුන් මෝඩයි කීම, අවලස්සනයි කීම, අදක්ෂයි කීම, සැර වැර කිරීම

Ø  ලිංගික අපයෝජනය
මෙය ආකාරය දෙකකට සිදු වේ.
§  ස්පර්ශයක් රහිතව
අසභ්‍ය වීඩියෝ පට පෙන්වීම. අසභ්‍ය පින්තූර සඟරා පෙන්වීම, ලිංගිකත්වය හුවා දක්වන වචන, විහිළු කිරීම

§  ස්පර්ශයක් සහිතව
දරුවා ලවා තම ලිංගික අවයව හෝ ශරීරය ස්පර්ශ කරවා ගැනීම, දරුවාගේ ලිංගික අවයව, ශරීරය ස්පර්ශ කිරීම, ලිංගිකව එක්වීම.

Ø  නොසලකා හැරීම
ආබාධිත ළමයින් නොසලකා හැරීම, දරුවන්ට අවශ්‍ය  ආදරය,ආහාර, ආරක්ෂාව, අධ්‍යාපනය ආදිය ලබා නොදීම

v  ළමා අපයෝජනයේ අහිතකර ප්‍රතිඵල

v   කායික අපයෝජනය -
o   සමහර කායික දඬුවම් නිසා නැවත සකස් කළ නොහැකි ශාරීරික දුර්වලතා ඇති වීම.
o   පසු කාලීනව තමන්ගේ අඹු දරුවන්ට ද කායික හිංසා ඇති කිරීම.
o   පිරිසක් ඉදිරියේ දඬුවම් ලබා දීම නිසා අවමානයට ලක්වීම.
o   තමන් අවමානයට පත්වීම නිසා දඬුවම් දුන් තැනැත්තා කෙරෙහි වෛරයක් ඇති වීම.
o   දඬුවම සාමාන්‍යකරණය වීම නිසා ඇතැම් දරුවන්ට දඩුවම විහිලුවක් බවට පත් වීම. හා මේ නිසා ඔවුන් අනෙක් ළමයින් අතර වීරයන් වට පත්වීම.
o   පහර කෑම විහුලුවක් බවට පත්වීම නිසා වැඩිහිටියන් කෝප ගැන්වීමට එකම වරද නැවත නැවත කිරීමට පෙළඹීමෙන් ඔවුන් විනෝදයක් ලැබීම.
පෞරුෂ දුර්වලතා ඇති වීම.
v  මානසික අපයෝජනය
ඉහත සඳහන් කරන ලද කරුණු මෙයටද අදාල වන අතර ඇතැම් විට පහර කෑම් වලට වඩා මානසික වශයෙන් සිදු කරන හිංසාවන් නොමැකෙන ලෙස මතකයේ රැඳෙමින් දරුවන් ක්ලමතකාරී තත්ත්ව වලට හා ඉච්ඡාභංගත්වයට පත්විය හැකිය.

o   ලිංගික අපයෝජනය -
o    වැඩිහිටියෙකු වූ පසු මොවුන් ද ළමා අපයෝජකයන් වීමේ ප්‍රවණතාවක් දක්නට ඇත.
o   චර්යාත්මක අක්‍රමතා ඇති වීම.
o   නිතර නිතර ලිංගික අපයෝජනයට ලක්වීම නිසා ලිංගිකව බෝවන රෝග වලට ගොදුරු වීමේ අවධානම.
o   ගැබ් ගැනීම.
o   අපචාරී ක්‍රියා වලට හුරු වීම.
o   සිය දිවි නසා ගැනීමට පෙළඹීම ද විය හැකිය.
o   මානසික රෝග ඇති වීමේ අවධානම.


  • පරම්පරා ගැටුම
දෙමව්පියන්ගේ රුචි අරුචිකම්, සිරිත් විරිත් හා ළමයින්ගේ රුචි අරුචිකම් වෙනස් වීම නිසා ගැටළු ඇති වේ. මෙහි දී දරුවන්ගේ මානසික තත්වය මැනවින් වටහා ගෙන ඔවුන්ට නිවැරදිව මග පෙන්වා දීම අවශ්‍යය. ඔවුන්ට අණ දීම වෙනුවට කළ යුතු දෙය නිවැරදිව පැහැදිලිව ප්‍රකාශ කිරීම,  පවුලේ යම් කිසි තීරණයක් ගැනීමේ දී දරුවන්ගෙන් ද අදහස් විමසීම කළ යුතුය. ඔවුන්ගේ තීරණ වැරදි නම් ඒවා වැරදි වීමට හේතු කරුණාවෙන් පැහැදිලි කිරීම කළ යුතුය.
  • දෙමව්පියන්ගේ බලාපොරොත්තු දරුවන්ගෙන් ඉටු කර ගැනීමට යාම.
දෙමාපියන් තමන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ බලාපොරොත්තු දරුවන් ලවා ඉටු කර ගැනීමට යෑම තුළින් දරුවන් ක්ලමතකාරී තත්ව වලට පත්වේ.
උදා - උසස් පෙළ කලා විෂයන්ට දක්ෂතාවය දක්වන හා එම විෂයන්ට ඇළුම් කරන ළමයෙකු විද්‍යා හෝ ගණිත විෂයන් කිරීමට පෙළඹවීම.
මෙහිදී දරුවා තමන්ට අපහසු විෂයක්  ඉගෙන ගන්න උත්සාහ කිරීම නිසා ඉච්ඡාභංගත්වයට පත් වීම සිදුවේ.
  • සංසන්දනය
අනෙකුත් ළමයින් හා සංසන්දනය කිරීම නිසා දරුවන්ගේ ආත්ම අභිමානය බිඳ වැටී ඉච්ඡාභංගත්වයට පත් වේ. 
උදා - ඔයා සමන් වගේ නෙමේ හරිම මෝඩයෙක්.ඔයාට කිසි දෙයක් බෑ. බලන්න සමන් හැමදාම පන්තියේ පළවෙනියා.
සෑම දරුවෙකුටම අනන්‍ය වූ දක්ෂතාවන් පවතින නිසා එම දක්ෂතාවන් මැනවින් හඳුනාගෙන ඔවුන් දක්ෂතා දක්වන ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියට යන්නට ඔවුන්ට මග පෙන්විය යුතුය.
  • භුමිකා විසරණය
පවුලේ ප්‍රධනත්වය මව ගැනීම හා පියා අප්‍රධාන වීම නිසා එම පවුලේ ගැහැණු ළමයින් මව මෙන් සියලු කාර්යන්හි දී මුල් තැන ගන්නට වගකීම් දරන්නට හුරුවෙයි. එවිට මෙම දියණියන් විවාහ වූ විට පවුලේ මූලිකත්වය ගැනීම පිළිබඳව සහකරු හා ගැටෙයි. පියා මිය ගිය හෝ හැර ගිය පවුල්වල ද මේ තත්වය ඇති විය හැකිය. මෙම පවුල් වල පිරිමි ළමයින් විවාහ වූ පසු තීරණ ගැනීම, විවිධ කාරයන්හි දී මූලිකත්වය ගැනීම, වගකීම් දැරීමෙන් ඈත්ව එම කටයුතු බිරිඳට පැවරීම නිසා ද ගැටළු මතුවේ.
·        දැනෙන ලෙස ආදරය නොකිරීම.

දරුවන්ට දෙමාපියන්ගේ ආදරය නොදැනුණ හොත් ඔවුන් සිතන්නේ දෙමාපියන් තමන්ට ආදරය නොකරන බවයි. මේ නිසා පිටතින් ආදරය සොයන්නට ඔවුන් පෙළඹෙයි. මෙම හිදැස අවබෝධ කරගන්නා අපයෝජකයෝ විවිධ ක්‍රම මගින් ඔවුන් ට ආදරය කරන බව පෙන්වා දරුවන්ට සමීප වී තම පහත් ආශාවන් සපුරා ගනියි. එබැවින් විශේෂයෙන් ම යොවුන් දරුවන්ට ද දැනෙන ලෙස ආදරය කිරීම අත්‍යවශ්‍යය.

එබැවින් දෙමපියන් වශයෙන් කටයුතු කිරීමේ දී දරුවන් මූලික කර ගනිමින් ඔවුන්ගේ යහපැවැත්ම සඳහා දෙමාපියන් තමන්ගේ චර්යාවන් සිරිත් විරිත් පුරුදු ආදිය වෙනස් කර ගැනීම ඉතා වැදගත්ය. මේ සඳහා ප්‍රජාතාන්ත්‍රික පවුල් ක්‍රමයක් ගොඩ නගා ගැනීම වැදගත් වේ.

ප්‍රජාතාන්ත්‍රික පවුලක ලක්ෂණ



ü  මෙහි දී බලය සඳහා දෙමාපියන් අතර අර්බුදයක් නැත. අවස්ථානුකූලව දෙදෙනාගෙන් එක් අයෙකු මූලිකත්වය ගනී.
ü  සාකච්ඡා මාර්ගයෙන් පවුලට අවශ්‍ය ආචාරධර්ම ගොඩ නගා ගැනීම.
උදා -
·                  එකිනෙකාට ගරු කිරීම
·                  නිවසෙන් පිටතට යන විට දැනුවත් කිරීම
·                  පවුලේ ගැටළු එකිනෙකා සාකච්ඡා කිරීම
ü  එකිනෙකාට සවන් දීම.
දරුවන් දෙමාපියන්ටත් ‍දෙමාපියන් දරුවන්ටත් සවන් දීම, හැඟීම් පිට කිරීමට අවස්ථාව ලබා දීම.
ü  සතියකට වරක් පවුලේ සාමාජික හමුවක් පවත්වා ගැටළු සාකච්ඡා කිරීම, නව නීති පැනවීම, පවතින නීති වෙනස් කිරීම, නව යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම.
ü  තීරණ ගැනීමේ දී සියලු දෙනාගෙන් ම අදහස් විමසීම.
ü  පියා හෝ මව විසින් පැනවූ නීති මව හෝ පියා නැති විටත් පිළිපැදීම.
ü  සියලු දෙනාටම වගකීම් පවරා තිබීම. මෙමගින් ස්වාධීනව කටයුතු කිරීම හා නායකත්වය පිළිබඳව ළමයා ඉගෙන ගනී.
ü  වැරැද්දට දඬුවම් ලබා දීම හා දඬුවම් ලැබෙන බව දරුවන් දැනුවත් කර තිබීම. මෙම දඬුවම් නිර්මාණශීලී මෙන්ම දරුවා සංවර්ධනය වන දඬුවම් විය යුතුයි.
ü  දරුවන් ගැන නිතර සෙවිල්ලෙන් සිටටීම හා ඒ බව පැවසීම.
ü  ආදරය, විනෝදය  සඳහා අවස්ථා පැවතීම.
ü  ආදරය, විනෝදය හා සීමාවන් පැනවීම ආදිය සමබරව පවත්වා ගැනීම.
ü  දෙමාපියන් දරුවන්ට ආදර්ශවත් ලෙස කටයුතු කිරීම
මෙම කරුණු අනුගමනය කිරීමෙන් සතුටින් දිවිගෙවන ගැටුම් ඉතා අවම පවුල් පරිසරයක් ගොඩ නගා ගැනීමට හැකි වේ.


------------ චාමිකා ජනානි ද සිල්වා (Diploma in counseling & psychotherapy--------