Saturday, June 20, 2020

ළමා ආරක්ෂාව ගැන දැනුවත් වෙමු!



අපි අද ළමා අපයෝජන ගැන දැනුවත් වෙමු!

“අප“ යන්නෙන් වැරදි යන්නත් “ යෝජනය “ යන්නෙන් යොදවා ගැනීමත් අදහස් වෙනවා. මේ අනුව අපයෝජනය යනුවෙන් හඳුන්වන්නේ වැරදි ලෙස යොදවා ගැනීමක්. එනම් ළමයින් වැරදි ලෙස යොදවා ගන්නා ඕනෑම ක්‍රියවක් ළමා අපයෝජනයක් ලෙස හඳුන්වනවා.
ළමා අපයෝජන ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදන්න පුළුවන්.

·        ශාරීරික අපයෝජනය
·        මානසික අපයෝනය
·        ලිංගික අපයෝජනය හා නොසලකා හැරීම මේ වර්ග 4ට අයත් වෙනවා.

Ø ළමයින් විකිණීම
Ø ළමයින් ගණිකා වෘත්තියේ යෙදවීම
Ø යුධමය කටයුතු වලට ළමයින් යොදවා ගැනීම
Ø මත් ද්‍රව්‍ය දො හැරීම හා විකිණීම සඳහා යොදා ගැනීම
Ø සිඟමනෙහි යෙදවීම
වයස අවු 16 ට අඩු ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගැනීම කම්කරු නීතිය අනුව වරදක් වන අතර වයස අවු 16 – 18 අතර ළමයින් අනතුරු දායක රැකියාවන් වල යෙදවීමත් වරදක් වනවා.

අපි මුලින්ම කායික අපයෝජනය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද කියා විමසා බලමු.
ළමයෙකුට සිදු කරන ශාරීරික දඬුවම්,පහරදීම්, පිළිස්සීම් ආදී ශරීරයට හානි සිදු කරන ක්‍රියාවන් කායික අපයෝජන ලෙස හඳුන්වන්න පුළුවන්.

ශාරීරිකව සිදු කරන දඬුවම්, පහරදීම් ආදිය නිසා ඇති වන හානිය ඇතැම් විට යළි යථා තත්වයට පත් කරන්නට නොහැකි තත්වයක් ඇති කරන්නට පුළුවන්.

විදේශ රටක සිදුවූ සත්‍ය මෙන්ම ඉතා සංවේදී කතාවක් ඔට කියන්නම්.
ජිම් කියන්නේ වයස අවු 3ක ලස්සන දඟකාර කොළු පැටියෙක්. දවසක් ජිම්ගේ තාත්තා තම මෝටර් රථය සෝදමින් සිටියා. මිදුලේ සෙල්ලම් කරමින් සිටි ජිම් තාත්තා අසලට පැමිණියා. ඔහු අසල තිබූ පුංචි ගල් කැටයක් අහුලා ගෙන මෝටර් රථයේ බඳෙහි චිත්‍රයක් අඳින්නට පටන් ගත්තා. මෙය දුටු පියා මහත් කෝපයට පත් වුණා.
“ ජිම්, ඔයා මොනවද කරන්නේ? මගේ කාර් එක විනාස කරන්න එපා පුතේ“ ඔහු තරමක් කෝපයෙන් පැවසුවා.
පුංචි ජිම්ට තමන් කරමින් සිටි කාර්යේ බරපතල ව වැටහෙන්නේ නැහැ. ඔහු මඳ වේලාවක් නැවතී සිට යළිත් සුපුරුදු ක්‍රියාව කරන්න ගත්තා. පියා නැවතත් ජිම් ට අවවාද කළා. නමුත් ඔහු චිත්‍ර ඇඳීම නතර කළේ නැහැ. මෙයින් පියා අධිකව කෝපයට පත් වුණා.
“ ඉන්නවා ඔහොම, මං හොඳ වැඩක් කරන්නම්“ කියා පැවසූ ඔහු පුංචි පුතුගේ ළපටි දෑත් මෝටර් රථයේ බඳ මත තබා අතට අසුවූ ගලකින් ජිම්ගේ අත් වලට ගහන්න පටන් ගත්තා. ඔහුගේ කෝපය නිම වන විට ජිම්ගේ පුංචි ඇඟිලි තැලී තිබුණා. පියා කඳුළු සලමින් තම පුතුව රෝහලකට රැගෙන ගියා. තැලී තිබුණු ඇඟිලි දෙකක් කපා ඉවත් කරන්නට සිදු වුණා. වෙලුම් පටි යෙදූ දෑත් සහිතව සිටි පුංචි පුතු තුරුළු කරගනිමින් පියා හඬන්නට වුණා.

“ තාත්තෙ ඔයා දුක් වෙන්න එපා මට දැන් රිදෙන්නේ නැහැ“ ජිම් කිව්වා.
“ අනේ පුතේ ඔයාගෙ ඇඟිලි.......... ? පියා  කඳුළු අතරින් කිව්වා.
“ තාත්තා දුක් වෙන්න එපා.මං ලොකු වෙනකොට මගේ ඇඟිලිත් ආයෙ ලොකු වෙයිනෙ“ අහිංසක ජිම් කිව්වා“ පියා මහ හඬින් වැලපෙන්න ගත්තා.
 බොහෝ දෙනා දරුවන්ට ශාරීරිකව දඬුවම් පමුණුවන්නේ තම කෝපය පාලනය කර ගැනීමට නොහැකි නිසා. මේ නිසා සිදු කරන පහර දීම් වල දී දරුවන්ට සදාකාලික දුකක් උරුම විය හැකි වත් මේ කතා පුවතෙන් පැහැදිලි වෙනවා.

ළමයින් යනු වැඩිහිටියන් නොව වැරදි කරමින් අත්දැකීම් ලබමින් ඉගෙන ගන්නා අය ව වැඩිහිටියන් අවබෝධ කර ගත යුතුයි.

කායික දඬුවම් නිසා දරුවන් තුළ

  • Ø ශාරීරිකව තුවාළ ඇති කරයි
  • Ø දරුවා ලැජ්ජාවට හා අවමානයට ලක් කරයි.
  • Ø දරුවා තුළ සංකාව හා ද්වේශය ඇති කරයි
  • Ø ශාරීරික වදහිංසා දරුවන් ප්‍රචණ්ඩත්වයට යොමු කිරීමට හේතු වෙයි.
  • Ø කුඩා කළ වදහිංසා වලට ගොදුරු වූ අය පසු කාලීනව සිය අඹු දරුවන්ට ශාරීරිකව පීඩා ඇති කරන්නන් බවට පත් වීමේ ප්‍රවණතාවක් ඇත.
  • Ø වදහිංසාවට හා අවමානයට පත් වූ විට දඬුවම් දුන් තැනැත්තා කෙරෙහි වෛරයක් ඇති වෙයි.
  • Ø එකම වරදට නැවත නැවත දඬුවම් ලබන දරුවන් අපට දැකිය හකියි. මේ නිසා කායික දඬුවම් තුළින් දරුවන් නිවැරදි කළ නොහැකි බව මෙයින් පැහැදිලියි.
  • Ø ඇතැම් දරුවන්ට පහර කෑම විහිළුවට හා සිනාවට කාරණාවක් වන අතර මෙවන් ළමුන් අනෙක් ළමයින් අතර “ වීරයින්“ බවට පත්වෙයි.

මේ නිසා කායික දඬුවම් වෙනුවට දරුවන් ගේ චර්යාවන් සකස් කරන්නට වෙනත් නිර්මාණශීලී, මනෝ විද්‍යාත්මක උපක්‍රම භාවිතා කරමු!



Thursday, June 4, 2020

සොබා දහමට සිදු වන හානිය අවම කරමු


මේ දවස් ව පුදුම රස්නයක් තියෙන්නනේ. ගෙයක් ඇතුලෙ නම් විදුලි පංකාවක් නැතිව ඉන්න බැහැ. සුළඟත් අඩු නිසා සිරුරටත් දැනෙන්නේ හරිම අපහසුවක්. ගෙවල් හදන්න ගස් කපන විට මේ වගේ උණුසුම් කාලයක් ගැන හිතුවේ නැහැ නේද? පාරවල් හදන්න වගේම වෙනත් සංවර්ධන යෝජනා නිසාත් කොයි තරම් ගහකොල වනාන්තර විනාශ වෙන්න ඇති ද? ඒත මෙහෙම කා දැමූ ගස් වෙනුවට නැවතත් එක ගසක් හෝ සිටුවන්න පෙළඹුනේ නැහැ නේද?

අපට තියෙන්නේ ඉඩකඩ හොඳින් ඇති ගෙවත්තක් නම් පළතුරු ශාක, සෙවනට සුදුසු ශාක වර්ග වවන්න පුළුවන්. තුරු වදුලක දැනෙන සිසිලස සුවය අපට විදුලි පංකාවකින් හෝ වායු සමීකරණ යන්ත්‍රයකින් හෝ ගන්නට බැහැ. ඒ වගේම ගස සමග ගෙඩ නැගෙන පරිසර පද්ධතියත් අපූර්වත්වයක් ගෙනෙනවා.ගසෙහි කූඩු තනන කුරුල්ලන් ඔබ මො දුවන ලේණුන් ඇසටත් මනසටත් සුවයක් ගෙනෙනවා. වියලුණු කොල පසට එක්කරනවා. ගසෙහි පත්‍ර මගින් ඔක්සිජන් නිපදවෙනවා. මේ නිසා ගසක් කියන්නේ අමිල සම්පතක්.


ඉතා සීමිත ඉඩකඩ වුණත් හැකිතාක් ගස් කපන්නේ නැතිව ඉදිකිරීම් කටයුතු සිදු කරන්න හැකි නම් වටිනවා. ඉදි කිරීම් කටයුතු සිදු කරන ස්ථානයේ තිබෙන ගස් මැදි කරගෙන අපූරු කලාංගයක් ලෙසට ගෙන ගොඩනැගිලි ඉදි කිරීම අද නවතම විලාසිතාවක් වෙලා. ජපානයේ මිනිසුන් විශාල ගස් වල තමන්ගේ මිය ගිය මුතුන් මිත්තන් ජීවත් වන බව විශ්වාස කරන නිසා ඔවුන් විශාල ගස් කපන්නේ නැතිව ඒ ගස් වට කරගෙන නිවාස සහ ගොඩනැගිලි සාදන බව අසන්නට ලැබෙනවා. ඒ වගේම විදෙස් රට වල මාවත් මැද තිබෙන විශාල ගස් අපට දකින්නට ලැබෙනවා. ඇතැම් විට දුම්රිය මාර්ග දෙපස තිබෙන්නේ රූස්ස කැලෑවන්. මේ විදියට ඔවුන් පරිසරයට සිදුවන හානිය අවම වනසේ කටයුතු කරන්නට උත්සාහ ගන්නවා.



ස්වභාවික පරිසරය කෘත්‍රිම ලෙස නිවාස වල ගොඩනැගිලි වල මවනවට වඩා පරිසරයට ආරක්ෂා කිරීඹයි අප කළ යුතු වන්නේ. නමුත් අපට ඇතැම් විට ඉඩක සීමා විම නිසා ගස් කපා දමා ඉදි කිරීම් කරන්න සිදු වෙනවා.එවැනි අවස්ථාවක සොබාදහමට සිදුවන හානිය අවම වන ලෙස පිහිටි සොබා පරිසර කලාවක් ලෙසට ගෙන, එය අපූර්ව ගෘහ නිර්මාණ ශිල්පයක් වට පත් කරගෙන කටයුතු කළ හැකි නම් අපට සුවදායි පරිසරයක් බිහිවේවි.