Monday, August 20, 2018

---දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ නොදැනුවත් භාවය නිසා පාසල් අධ්‍යාපනය අතහැර යන ළමයි--




“අපේ ගමේ පුංචි දුවෙක් පාසල් යන්නේ නැහැ “ එක්තරා ගමක වෙසෙන කාන්තාවක් මට දැනුම් දුන්නා. ඇය කියූ තොරතුරු අනුව මම පාසල් නොයන දරුවා හමුවීමට ඔවුන්ගේ නිවසට ගියා. දිවා කාලයේ ඔහු සිටියේ මිත්තණිය සමග. එදිනත් පාසල් නොගිය නිසා ඔහු තනිවම සෙල්ලම් කරමින් සිටියා. අපි ඇයට දිලංකා යැයි කියමු.
මුලින්ම මගේ ඇස ගැටණේ සාලයේ මේසයක් උඩ තිබුණු චිත්‍ර පොතයි.
“දිලංකා දුව චිත්‍ර අඳින්න ගොඩක් ආසයි වගේ. මට පෙන්නන්නකො ඔයාගෙ චිත්‍ර."
දිලංකා ඉතා කැමැත්තෙන් තම චිත්‍ර පොත රැගෙන ආවා. දිලංකා විසින් ඇඳ තිබූ චිත්‍ර ඉතාම නිර්මාණශීලියි. ඒවා 5 වසරේ දරුවෙක්ගේ චිත්‍ර වලට වඩා පරිණත බවක් පෙන්නුවා. ඇය තමන් නරඹන ලද කාටුන් වල චරිත පවා සිතුවමට නගා තිබුණා. චිත්‍ර පිළිබඳ ප්‍රශංසා කිරීම නිසා මා සමග මිත්‍ර වුණ දිලංකා පාසල හා පන්තියේ ඉගෙනුම් කටයුතු පිළිබඳ විමසන විට නිහඬ වුණා. ඇයට පන්තියේ මිතුරු මිතුරියන් සිටියේ නැහැ.
5 වසර පන්තියේ ඉගෙන ගත් දිලංකාගේ සටහන් පොත් පරීක්ෂා කිරීමේ දී ඇගේ අකුරු වල බොහෝ අඩු පාඩු දකින්නට ලැබුණා. ඇගේ සටහන් පොත් වල වැඩි ප්‍රමාණයක් තිබුණේ රතු පෑනෙන් අඳින ලද ඉරි, වැරදි සකස් කිරීම් හා වැරදි. මම ඇගෙන් සිංහල පාඩම් පොත රැගෙන මුල්ම පාඩමේ ඡේදයක් කියවන ලෙස පැවසුවා. ඇයට ඇතැම් වචන කියවීමට අපහසු වුණා.
ඇය චිත්‍ර සඳහා දක්ෂ නිසා ඇයට කුඩා ක්‍රියාකාරකමක් ලබා දුන්නා. හිස් කොලයක් ගෙන එය දෙකට බෙදා එක් පසෙක ඇය වඩාත් ආදරය කරන පුද්ගලයා සහ අනෙක් පස ඇය අකමැතිම පුද්ගලයා අඳින ලෙස ඇයට පැවසුවා. ඇය තමන් වඩාත්ම ආදරය කරන පුද්ගලයා ලෙස මවත් අකමැතිම පුද්ගලයා ලෙස  පන්තිභාර ගුරුතුමියත් ඇඳ තිබුණා. පන්තිභාර ගුරුතුමිය අකමැතිම කෙනා වුණේ ඇයි දැයි මා ඇගෙන විමසුවා. ඇය නිහඬවම ජනේලයෙන් එපිට බලා සිටින්නට වුණා. ඇය ඊට පිළිතුරක් දුන්නේ නැහැ. ස්වල්ප වෙලාවකට පසු ඇගේ මව නිවසට පැමිණියා. දිලංකා පාසල් යාම නතරවීමට ආසන්නතම හේතුව දැන ගැනීමට මම ඇගේ මවගෙන් ඒ පිළිබඳ විමසුවා. දිනක් පන්තිභාර ගුරුත්මිය දිලංකා ගෙදරින් දුන්න වැඩ කරගෙන පැමිණියේ නැතැයි කියා කෝටු පහර දී තිබෙනවා. එමෙන්ම ඇගේ පන්තියේ ළමයෙකුට ගුරුතුමිය තදින් පහර දෙන ආකාරය දැක ඇති ඇය බියපත්ව තිබෙනවා. මෙම සිදුවීමට පසුවදා සිට ඇය පාසල් යාම තද බව ලෙසම ප්‍රතික්ෂේප කර තිබෙවා.

දිලංකාගේ සිදුවීම පිළිබඳ විමසීමට මා පන්තිභාර ගුරුතුමිය හමුවුණා. ඇය පැවසුවේ දිලංකා පන්තියේ සිටින දුර්වලම ළමයින්ගෙන් කෙනෙක් බවයි. ඇයගේ ලිවීම කියවීම ඉතා දුර්වල මට්ටමක පවතින බව ඇය උදාහරණ සහිතව පෙන්වා දුන්නා. දිලංකාගේ දුර්වලතාවන් අනුව ඇය ලිවීම හා කියවීම පිළිබඳ අක්‍රමතාව හෙවත් Dyslexia තත්වයෙන් පෙළෙන බව මට වැටහුණා. නමුත් ගුරුතුමිය විශ්වාස කළේ ඇයට දඬුවම් දීම මගින් ඇයව යථා තත්ත්වයට ගත හැකි බවයි. දිලංකාට වෙනම අවධානය යොමු කරමින් ඇයට ඉතා සරළව ඉගැන්විය යුතු බව පෙන්වා දුන්නත් ශිෂ්‍යත්වය නැමැති කඩඉම හා තරඟයක යෙදෙන ගුරුතුමියට එක දරුවෙකු වෙනුවෙන් කාලය යෙදවීම ඉතා අපහසු දෙයක් වුණා. එමෙන්ම ඇය සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමය හා දඬුවම් දීමෙන් සියලුම දරුවන් වෙනස් කළ හැකි බව තදින් විශ්වාස කරන අයෙක්.ඇගේ මතය වෙනස් කිරීම ඉතා අපහසු බව මට වැටහුණා.
දිලංකා ට ඇති ගැටළුව වන ලිවීමේ හා කියවීමේ අක්‍රමතාව නොහොත් Dyslexia පිළිබඳව විමසා බලමු. මෙම තත්වයේ ප්‍රමුඛ ලක්ෂණය වන්නේ ලිවීමේ හා කියවීමේ දුර්වලතාවයයි. Dyslexia ස්නායුමය හා ජානමය හේතූන් නිසා ඇති විය හැකි රෝග තත්වයකි. මොවුන්ට තමන් කියවන දෙය වටහා ගැනීමත් වචන නිවැරදිව ශබ්ද කිරීමත් ලිවීමත් අපහසුයි. නමුත් මෙය බුද්ධිමත්භාවයේ දුර්වලතාවක් නිසා ඇති වන්නක් නොවේ.

රෝග ලක්ෂණ

  • ·         කියවීමේ අපහසුතාවය

අකුරු හඳුනා ගැනීම, අකුරු එක්කොට වචන තැනීම ආදිය අපහසුය.
  • ·         වර්ධන අවධීන්ගේ පසු කිරීම ප්‍රමාද වීම

අදාල වයසට අනුව දණ ගෑම, ඇවිදීම, කතා කිරීම ආදී සංවර්ධන අවස්ථා පමා වීම.
  • ·         සෙමෙන් ඉගෙන ගැනීම
  • අක්ෂර මතක තබා ගැනීම හා ඒවා ශබ්ද කිරීමට කල් ගත වීම. 

සතියේ දින , මාස, වර්ණ ආදිය මතක තබා ගැනීම අපහසු වීම.
  • ·         සම්බන්ධතා දුර්වල වීම.

අත හා ඇස අතර සම්බන්ධය  පවත්වා ගැනීම දුර්වලය. උදා - පන්දු රැකීම වැනි.
ක්‍රීඩාවන වලදී අදක්ෂ වීම, අපිලිවෙල.
  • ·         වම හා දකුණ හඳුනා ගැනීම ව්‍යාකූල වීම
  • ·         ඉලක්කම් ආපස්සට ගණන් කිරීම නොහැකි වීම.
  • ·         වචන අකුරු මතක තබා ගැනීම අපහසුය.

බොහෝ විට ඉගෙන ගන්නා වචන අකුරු ඊලග දවසේ අමතක වේ.
·         සමහර වචන උච්ඡාරණය කිරීමේ අපහසුව
·         අවධානය එක තැන රඳවා ගැනීමේ අපහසුව
·         ප්‍රතිශක්ති දුර්වලතාවයන්ගෙන් පෙළීම.
පීනස,ඇදුම වැනි රෝග වලින් පෙළීම.

ප්‍රතිකාර -
·          විශේෂ අධ්‍යාපනය සඳහා පුහුණුවූ ගුරුවරයෙක් යටතේ ඉගැන්වීම.
·         නිරන්තරයෙන් කියවීම ලිවීම සහ ක්‍රියාකාරකම් සඳහා මග පෙන්වීම හා උදව් කිරීම.
පන්තිකාමරයක දී මෙවන් දරුවන් සඳහා වෙනම අවධානය යොමු කරමින් ඉගැන්විය යුතුය. වචන කෝෂය දියුණු වන සේ පියවරෙන් පියවර කියවීම හා ලිවීම පුහුණු කිරීම.
·         ආත්ම සම්මානය ඇති වන සේ ඔවුන් දිරි ගැන්වීම, දක්ෂතා ඇගයීම.
·         උපදේශනය අවශ්‍ය වන්නේ නම් උපදේශනය කරා යොමු කිරීම.

ලංකාවේ පවතින විභාග පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමය තුළ මෙවැනි සෙමෙන් ඉගෙන ගන්නා ඉගෙනුම් අක්‍රමතාවන් සහිත දරුවන් පාසල් අධ්‍යාපනයෙන් හැලී යා හැකිය.
විභාග ප්‍රතිඵලය මත අධ්‍යාපනය මැනෙන බැවින් දරුවන්ගේ අසමත්වීම් මගින් ගුරුවරයා දුර්වල අයෙකු බවට ලාංකික අධ්‍යාපන ක්‍රමයේ දී  ලේබල් වනවා. ඉන්පසු සිසුන් අසමත් වීමට හේතූන් පවා දක්වන්නට ගුරුවරුන්ට සිදු වනවා. මේ නිසා ගුරුවරුන් උත්සාහ ගන්නේ දරුවන් සියලු දෙනා විඪාග සමත් කරවීමටයි. මේ තුළ මානසික පීඩනයට පත් වන ගුරුවරයා තමන් බලාපොරොත්තු වන මට්ටමට පැමිණීමට අසමත් වන දරුවන් දඬුවම් ලබා දී හෝ රැගෙන ඒමට ඔවුන් උත්සාහ ගන්නවා. මෙහිදී සෙමෙන් ඉගෙන ගන්නා ළමයින් සාධනීය මට්ටමට පැමිණීමට අසමත් වන විට ඔවුන්ට අවමන් කිරීම, පහර දීම හෝ වෙනත් දඬුවම් ලබා දීම සිදු වෙනවා. මෙයින් සිදු වන්නේ ඉගෙනුම් අක්‍රමතා සහිත දරුවන්ට අධ්‍යාපනය අප්‍රියජනක දෙයක් වීමයි. මෙහි අවසන් ප්‍රතිඵලය එවැනි දරුවන් පාසල් අධ්‍යාපනයෙන් හැලීයාම විය හැකියි.

දිලංකා ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තුරු පාසල් යැවීම අපහසු කරුණක් වුණා. ඇය ට අධිවේගී අධ්‍යාපන ක්‍රමයත්  ගුරුතුමියගේ දඬුවම් දීමත් දරා ගැනීමට අපහසු වුණා. ගුරුතුමිය පිළිබඳව ඇය තුළ පැවති අසීමිත බිය තුරන් කිරීම සඳහා ඇගේ මනස සකස් කර ගැනීමට කාලය අවශ්‍ය වුණා. ඇය දැන් උපදේශනයට යොමු වී තම අධ්‍යාපන කටයුතු වලට නැවතත් සෙමෙන් සෙමෙන් අවතීර්ණ වෙමින් සිටිනවා.
දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ අනවබෝධය නිසා මෙවන් දරුවන් බුද්ධිහීන දරුවන් ලෙස සලකා නොසලකා හරිනවා. නමුත් ඔවුන්ගේ බුද්ධිමත්භාවයේ කිසිදු අඩුපාඩුවක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් තුළ පවතින ලිවීමේ කියවීමේ අක්‍රමතාවය නිසි මග පෙන්වීමක් යටතේ යථා තත්වයට ගැනීමට හැකියි. මේ සඳහා කදිම උදාහරණය හින්දි සිනමාවේ අති විශිෂ්ඨ සිනමා පටයක් වන “ තාරේ සමීන් පර්“ චිත්‍රපටයයි. එමගින් Dyslexia නිසා වරදවා වටහා ගන්නා මානසිකව ඇද වැටෙන දරුවකු යථා තත්වයට ගන්නා ආකාරය මැනවින් පෙන්වා දී තිබෙනවා.
අප වැඩිහිටියන්, දෙමාපියන්, ගුරුවරුන්, ළමුන් හා කටයුතු කරන වෘත්තිකයන් ලෙස මෙවැනි අක්‍රමතාවන් පිළිබඳ මනා ලෙස දැනුවත්වීම තුළින් අඳුරට යන දරුවන්ගේ ජීවිතයට ආලෝකයක් ගෙන දීමට හැකියාව ලැබෙනු ඇත.

* ආශ්‍රිත ලිපි - Medical News today – https://www.medicalnewstoday.com

--- චාමිකා ජනානි ද සිල්වා ---- Dip of counselling & psychotheraphy