Monday, September 4, 2017

අපෙ ගමේ සුවඳ එකතු කරන් වරෙන් යාළුවේ

පුර හඳත් එක්ක ඇවිත් යන්න
ඉඳහිට හෝ මේ සිදාදියේ
අපෙ ගමේ සුවඳ එකතු කරන් වරෙන් යාළුවේ.........
රෑ පානේ මුතු බේරෙන
මුතු ගානේ බැත මෝරන
නොනිදා හිනැහෙන කමතක් වාගේ
මැඩුවන් සුවඳත් තුරුළු කරන් වරෙන් යාළුවේ....
අරලිය මල් සිල් සුවඳට
නැලවෙන බෝ පත තාලෙට
රෑ නලියන වැව් කණ්ඩිය වාගේ
පන්සලෙන් සාදු හඬත් අරන් වරෙන් යාළුවේ....
ගේය පද - රත්න කේ .ප්‍රේමසිරි
තනුව හා සංගීතය - එච්.එම් ජයවර්ධන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සඳේ සෞන්දර්ය සැබැවින්ම විඳගත හැක්කේ නගරයේ දී ද ? නැතිනම් ගමේ දී ද මම ඔබෙන්අසන්නෙමි .ගමටත් නගරයටත් වෙනසක් නො දක්වා සඳ පායයි .එහෙත් නගරයේ නගරයේ දුවිල්ලෙන් කර්ණ කඨෝර වූ විවිධ හඬවල් ද සිතත් ගතත් වෙහෙසට පත් කරයි .අවිවේකී දිවා කාලයක් නිමකර නිවසට හෝ නවාතැනට පැමිණෙන අප සොයන්නේ නිදි සුවය යි .නගරයේ විසල් ගොඩනැගිලි වලට ඉහලින් සඳවතිය සුපුරුදු ලෙස හිනැහුනත් ඒ අසිරිය දකින්නට විඳින්නට අවිවේකී නාගරික දිවිය අපට ඉඩ හසර ලබා නොදෙයි නො දෙයි .සඳ එළිය පමණක් නොවේ නාගරික ජීවිතය විසින් ජීවිතයේ තවත් බොහෝ දේ වින්දනය කරන්න ට ඉඩක් ලබා නොදෙයි .වින්දනය කල යුතු දෑ වින්දනය නොකිරීමෙන් අපි ජීවිතය විඳවන්නේ බවට පත්ව තිබේ .නගරයේ ඉපිද නගරයේ ම දිවි ගෙවෙන ඇතැමුන්ට සමන්විත වන්නෙකුට තමන් විඳවන්නෙකු බවට පත්වී ඇති බව නොහැඟෙන්නේ ඔවුන්ට නාගරික පරිසරය සාමාන්‍යකරණය වී ඇති නිසා ය .
ගමේ වෙල් එළියේ වෑ දියේ බඩවැටියේ සුන්දරත්වය නිදහස් වේ වින්දනය කළ පුද්ගලයකුට නගරය ත් එහි ජීවිතයත් දැනෙනුයේ සිරගත ජීවිතයක් ලෙසිනි .එහෙත් ඒ නිසාම නගරයේ හැරදා යන්නට ඔහුට නොහැකි ය .රැකියාවක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් නිසා අකමැත්තෙන් වුවද නගරයේ සිරගත වන්නට ඔහුට සිදුවෙයි .මඳක් හෝ ඉසිඹුවක් ලැබෙන නිමේෂයේදී ඔහු සිත වැව් තාවුල්ලට පන්දිසලට වෙල්වයායට දිව යන්නේ අසුරු සැනිනි .
ගමේ ඉපිද නගරයට සංක්‍රමණය වී නගරයේ සිරගත වූවෙකුට ගමේ මිත්‍රයෙකු හෝ ඥාතියකු හමුවීම ප්‍රහර්ෂය දනවන්නකි .තම මිතුරා “ පුරා හඳක“ අසිරිය ගන්වන්නෙක් බව පද රචකයා රූපණය කරන්නේ ඒ තුළින් සහාදත්වය උතුරා යන නිසාම ය.
නගරයේ කුණු කාණු වලින් නැගෙන දුර්ගන්ධය පහ කරන්නට සුවඳ විලවුන් ගැල්වුවත් අවට පරිසරයට සුවඳ දියර ඉසුවත් පලක් නැත .ස්වල්ප මොහොතකින් කසල වල දුර්ගන්ධය යළිත් මතුවෙයි. ගමේ වෑ දියේ වෙල් එළියේ පන්සලේ සුවඳ කැටි කරගත් සැනසුම සුවය සදන ජීවිතය මොහුට සිහිනයක් පමණි. ගමේ සුවඳ, සහෘදත්වය රැගෙන කිසිවෙකු හෝ පැමිණෙන්නේ නම් කෙතරම් අපූරු ද?
ගීතයේ වාච්‍යාර්ථය මතුපිටින් මෙලෙස විග්‍රහ කළ ද එහි ව්‍යාගාර්ථය තුළ ගැඹුරු අරුතක් ධ්වනිත කරයි. මුදල් මත යැපෙන නාගරිකයන්ගේ ජීවිතය අතිශය කටුක ය. මේ නිසාම තම යහගුණ පවා උකසට තබා මුදලට විකිණෙන්නට නාගරිකයන්ට සිදුව තිබේ. ඔවුන්ගේ මේ සංකීර්ණ දිවි පෙවෙත නිසා ඔවුන් සතු යහපත් සමාජ ආචාර ධර්මයන් ඔවුන් වෙතින් වියැකී ගොසිනි. එහෙත් සරළ ගැමි සමාජය තුළ තවමත් යහගුණදම් ආචාර ධර්ම රැඳී පවතී. ගීතයේ “ පුර හඳ“ තුළින් නිරූපණය වන්නේ අවංක සුහදශීලී , නිර්ව්‍යාජ සමීප සම්බන්ධතා වලින් යුතු ගැමි සමාජයක අනුරුවයි.
කාල් මාර්ක්ස් සිය පරාරෝපන න්‍යායෙන් පෙන්වා දෙන්නේ නාගරික කාර්මික සමාජය තුළ පුද්ගලයා තමා තමාගෙන් ද සමාජයෙන් ද පවුලෙන් ද පරාරෝපණය හෙවත් හුදෙකලාවීමත් යාන්ත්‍රික ඒකාබද්ධ සමාජයක් ගොඩ නැගෙන විට සදාචාර පර්යාව බිඳ වැටී ධර්මතාව පිරිහෙන සමාජයක් ගොඩ නැගෙන බවයි.
ආයාසකර සබඳතාවලින් ගහන සාමූහික බැඳීම් නැති සහ සදාචාර ධර්ම ගිලිහුණු සමාජයක අසීරුවෙන් අසීරුවෙන් පය ගසා සිටින පුද්ගලයෙකුට තම ගැමි මිතුරා “ පුරා හඳක්“ සේ පෙනෙයි. “ ගමේ සුවඳ “ යනු යහගුණ ධර්මයන් ය. ගමේ යහගුණ සහ අව්‍යාජ මිත්‍රත්වයෙන් පුරා හඳ සේ නාගරික මිතුරාගේ අඳුරු ලොව ගැමි මිතුරාගේ පැමිණීමෙන් එළිය වෙයි.
අස්වනු නෙලීමෙන් පසු කමතේ ගොඩ ගැහෙන්නේ ගොවියන්ගේ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයයි. “ රෑ පානේ මුතු බේරෙන - මුතු ගානේ බැත මෝරන “ යන්නෙන් දහඩියත් මහත් වූ කැපවීමත් ඒ වෙහෙසේ ප්‍රතිඵලය ලෙසටම ලැබෙන අස්වැන්නත් පිළිබඳ සඳහන් කරයි. නාගරික මිතුරාට තම ගැමි මිතුරා පෙනෙන්නේ “ නොනිදා හිනැහෙන කමතක් “ ලෙසිනි.කමත තුළ ඇත්තේ සාමුහිකත්වය, සහෘදත්වය හා කැපවීමයි. ගමේ මිතුරා නොනිදා හිනහෙන කමතක් සේම තම මිතුරාට සැනසුම ගෙන එයි. එමෙන්ම බොහෝ කලකින් හමුවන මිතුරන් දෙදෙනාට නොනිදා රැය පහන් කරන්නට තරම් තොරතුරු හුවමාරු කරන්නට ද තිබේ. ඒ තොරතුරු අතර ගමේ වෙලේ කමතේ මැඩුවන් සුවඳ එනම් අව්‍යාජත්වය පිරුණු බොහෝ සුන්දර දෑ තිබෙනු ඇත.
අරලිය මල් සුවඳ කැටිවුණු සිල් සුවඳත් , නැලවෙන බෝ පත් වල සිසිලසත්, සාදු! සාදු! හඬත් සිතට දනවන්නේ ආධ්‍යාත්මික සුවයකි. වෑ කණ්ඩිය රාත්‍රියට නලියන බවක් පද රචනයා පවසයි. වෑ කණ්ඩිය පෝදා රාත්‍රියට නලියන්නේ කෙසේ ද? වෙනදා නිහඬ බව උසුලන වෑ කණ්ඩිය පෝදා රාත්‍රියට පණ ලබයි. සුදෝ සුදු වතින් සැරසුණු ගැහැණුන්, පිරිමින් සහ ළමා ළපටියන්ගේ හඬින් වෑ කණ්ඩිය පිරෙයි. වැවෙන් එතෙර පන්සල වෙත ඇදෙන ජනයාගෙන් සහ ඔවුන්ගේ සෙවණැලි වලින් වෑ කණ්ඩිය නලියයි.එමෙන්ම සඳ එළිය වැටුණු බෝපත් වල සිලි සිලියත් එහි සෙවණැල්ලත් වෑ කණ්ඩියට වැටේ. පෝදා රාත්‍රියට නලියන වෑ කණ්ඩිය ගැමියාගේ සරළ දිවි පෙවෙතත් ලොකෝත්තර සුවය සොයා යන ගමනත් පිළිබිඹු වෙයි.
ගේය පද රචක රත්න කේ. ප්‍රේමසිරිගේ පද සංකල්පනාවට අනුභූතිය වන්නේ අලුත් සහල් මල්ලක් රැගෙන තමා හමුවට පැමිණි සහාෘද ගැමියෙකුගේ හමුවයි. ගේය පද රචනාව තුළ ව්‍යංගාර්ථවත් බස්වහරක් යොදා ගෙන ඇත.පද රචකයා සිය පුද්ගලානුභුතිය ගමේ උපන් නගරයේ සිරගතවන්නට සිදුවුණු මිනිසුන්ගේ පොදු අනුභූතියක් බවට පෙරළා සුගේය පද වැලකට මුසුකරයි. එය ග්‍රාමීය නාගරික බේදයකින් තොරව සියලු සහෘදයන්ගේ හදවත් සංවේදීව ස්පර්ශ කරයි.
කරුණාරත්න දිවුල්ගනේගේ හඬින් නිරුත්සාහයෙන් මතුවන්නේ ගැමි අව්‍යාජත්වය පිරිපුන් හඬකි. එනිසාම මේ ගීතය අප ගමේ සුවඳ වෙත රැගෙන යයි.එච්.එම්.ජයවර්ධන නම් ප්‍රතිභාපූර්ණ සංගීතඥයාගේ තනුවෙන් හා සංගීතයෙන් ගීතය වඩාත් රසවත් වෙයි.
------------------------------------------------------------------------------------------------------------------------------------
මේ ගීත රසාස්වාද ලිපි විද්වතුන් වෙනුවෙන් නොවේ, ගීතය රසවිඳින්ට මූලික අවබෝධයක් ලබා නොමැති හෝ ගීතයක් රසවිඳින්ට අවධානය නොකරන අයට ගීතය රසය විඳින්නට මඟ පෙන්වීමක් පමණි.
--- චාමිකා ජනානි----

Song Title: Pura Handak Ekka Awith Yanna.mp3, Artist: Karunarathna Divulgane, File Format: mp3, Mp3 File Size: 3.21 MB, Bit Rate: 128 kbps, Sampling Rate: 44100 Hz, Duration: 03:20, Quality: High, Music: New Music Combination, 1. Play This Song, 2. Download This Song...
TOPSINHALAMP3.COM

Wednesday, August 9, 2017

--- ආදරයට බ්‍රේක් නැත -----


ආදරය යන වචනය අපට මුලින්ම ඇසෙන්නේ අපේ දෙමව්පියන් වෙතිනි. අම්මා දස මසක් කුස දරාගෙන සිට අප මෙලොවට බිහි කරන්නේ මහත් සෙනෙහසිනි. ඉන් පසු කිරි දී අප පෝෂණය කරන්නේ ත් සිය දෙනෙත මෙන් ආරක්ෂා කරන්නේත් දරුවා කෙරෙහි පවතින අසීමිත ආදරය නිසාය. පියා සිය ගත වීරිය වැය කරමින් වෙහෙස වී තම දරුවන් අහරින් පෝෂණය කරන්නේත් ආරක්ෂාව ලබා දෙන්නෙත් අපරිමිත ආදරය නිසාමය.
නිවසෙන් පසුව පාසලට යන ළමයාට පාසලේ ගුරුවරුන්ගෙන් ද සම වයස් මිතුරු මිතුරියන්ගේ ද ආදරය ලැබේ. මව් පියන්ට අමතරව නෑදෑයන්ගෙන් හා අනෙකුත් වැඩිහිටියන්ගෙන් ද අපට ආදරය ලැබේ.
අප වයසින් වැඩී යෞවන අවධියට පත් වන විට ඔබ සොයන්නේ තම විරුද්ධ පාර්ශවයේ ආදරයයි. අපගේ සිරුරේ සිදු වන හෝමෝනමය වෙනස්කම් නිසා යොවුන් වියේ දී විරුද්ධ පාර්ශවයේ ආකාර්ශනයත් ආදරයත් අවශ්යෝ දෙයක් ලෙස හැඟේ. “ ආදරයට බ්රේක් නෑ යන කිමන සමාජ ගත වී තිබෙන්නේ මේ තරුණ අවධියේ ප්රේ‍මය ඇසුරිනි.
යෞවන ආදරය නැතිනම් ප්රේ‍මය යනු සැබවින්ම සොඳුරු අත්දැකීමකි. ප්රේකමයක් සිතෙහි ඇති වූ විට මෙතෙක් අසුන්දර ලෙස පෙනුණ ලෝකය සුන්දර යැයි හැඟේ. අරුත් සුන් වුණු ජීවිතයට අරුතක් ද නැවුම් බලාපොරොත්තුවක් ද ඇති වෙයි.
නන්දා මාලිනිය ගයන මේ සොඳුරු ගීතය මතකයට නගා ගන්න.
“ යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ
රෑන් මුදා ගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
දිලිසෙන කඳුලේ කිරණික් නෑවී
සිඟිති ආදර දූපතක තනි වී
ගංඟාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී.....
ප්‍රේමය මය සැබවින්ම සොඳුරු දෙයක් වුව ත් එය නිවැරදිව වටහා නොගැනීමත් වංක පුද්ගලයන් නිසාත් අසුන්දර වූ අවස්ථා බොහොමයක් ඇත.
ප්රේපමය අප වටහා ගන්නේ විවිධ වයස් මට්ටම් වලදී විවිධ ආකාරයෙනි.
• වයස අවු 13 සිට වයස අවු 18 - දක්වා බොහෝ දෙනෙක් තමන්ට හමු වන ඕනෑම පුද්ගලයෙකු හා ප්රේ්ම සම්බන්ධතා අරඹයි.
• වයස අවු 18 සිට 20 දක්වා කාලයේ දී විශේෂ කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධතා අරඹයි.
• වයස අවු 20 න් පසු විවාහය සඳහා සුදුසු කෙනෙක් තෝරා ගනියි.
පාසල් වියේ දී ඔබට ප්‍රේම සම්බන්ධතා ආරම්භ කිරිමටත් එය පවත්වා ගැනීමටත් අවශ්යස වැටහීම නැත. එනිසා සිදු වන්නේ ඔබට හමු වන ඕනෑම අයෙකු හා ප්රේභම සම්බන්ධතාවක් ආරම්භ කිරීම ය. එවිට ඔබ එලෙස ආදරය කරන පුද්ගලයා ගේ සැබෑ නම, වයස, රැකියාව, දෙමාපියන් මෙන්ම ඔවුන්ගේ ගති ගුණ පිළිබඳ කිසිදු විමසීමක් නැතිව ආදරයෙන් බැඳේ. ආදරයේ දී කරන වර්ණනාවන් ආදරනීය කතා බහ වලට රැවටෙන තරුණියෝ ප්රේ මයත් රාගයත් එකක් යැයි සිතමින් සිය සියලු වටිනාකම් ආදරවන්තයාට පුදකරයි.
අප රටේ නීතියට අනුව විවාහ වීමට වයස අවු 18 සම්පූර්ණ විය යුතුය. වයස අවු 13 – 18 අතර වන කාලයේ දී ඇතැම් ගැහැණු ළමයින් නීත්යඅනුකූල නොවන විවාහයට ඇතුළත් වේ. එවිට සිදුවන්නේ එම විවාහයෙන් ඇති වන දරුවන්ට නීත්යාතනුකූල පියෙකු නොමැති වීමයි. නීත්යවනානුකූල බැඳීමක් නොමැති නිසා පිරිමි පුද්ගලයා එම විවාහය අතහැර දමා යයි. එයින් සිදුවන්නේ ළමයින් මෙන්ම ළමා මවක ද අසරණ වීමයි. එමෙන්ම සෞඛ්ය අංශ පවසන්නේ දරුවකු ලැබිමට නම් ගැහැණු ළමයෙකුට වයස අවු 21 සම්පූර්ණ විය යුතු බවයි. එසේ නොමැති විට නොමේරූ ගර්භාෂය නිසා දරුවාත් ළමා මවත් මිය යෑමේ ප්රසවණතාව වැඩිය. නැති නම් මළ දරු උපත් හෝ නොමේරූ දරුවන් ඉපදිය හැකිය.
තමාට හමුවූ පළමුව ආදරය ප්රඩකාශය කළ පුද්ගලයා ලොව සුන්දරම වටිනාම පුද්ගලයා බව තීරණය කර ඔහු හා නීත්යළනුකූල නොවන අඩු වයස් විවාහයකට එලඹීමෙන් පසුව එම පුද්ගලයාගේ සැබෑ ස්වරූපය හෙළිවෙයි. එම පුද්ගලයා නිතර මත් පැන් පානය කරන, නිතර අඩ දබර වන, නිතර පහර දෙන පුද්ගලයෙකු වූ විට විවාහ ජිවිතය ඉතා නීරස වෙයි. අධ්යා පන කටයුතු නිසි ලෙස සම්පූර්ණ නොකිරීම නිසා රැකියාවක් සහ ආර්ථික ශක්තියක් නැතිව දිවි ගෙවන ඇයට සදා කල්හිම පීඩාකාරී ජීවිතයක් ගෙවන්නට සිදුවෙයි. එනිසා ජීවිතේ පසු තැවෙන කිසිවක් නොකරන්නට ඔබ සිතට ගන්න.
සැබෑ ආදරයක් සොයා ගන්නට ඔබ ඉක්මන් නොවිය යුත්තේ මේ නිසාය.
“ ආදරයට බ්‍රේක් නැති වුවත්, “ ජීවිතේට රිවස් නැති බව, හොඳින් මතක තබා ගන්න.
පාසල් සමය යනු ජීවිතේ අමරණීය මතක සටහන් රැගත් සොඳුරු සමයකි. එය තවත් සොඳුරු වන්නේ ඔබ හොඳින් තම අධ්යාතපන කටයුතු නිමකිරීමෙනි. ගුරුවරුන් උගන්වන දේ ඉතා හොඳින් ඉගෙන ගනිමින් පොත් පත් කියවමින් දැනුම ලබා ගනිමින් යහ ගුණ දම් වර්ධනය කරගනිමින් පැලෑටියක් සේ ඔබ වැඩෙන්න. පාසල තුළින් ලබා ගන්නා ශකතිමත් පදනම නිසා ඔබට ඔබගේ ජීවිතය ජය ගන්නට හැකි වනු ඇත.
හොර රහසේ අඩු වයසින් නීත්යාසනුකූළ විවාහයකට එළඹෙනවාට වඩා අභිමානයෙන් යුතු විවාහයක් තෙක් ඔබ ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබට නිසි වයස එළඹෙන විට ඔබ අධ්යායපනය තුළින් ද ජීවිතය ජය ගෙන ඇත්නම් ඔබ සමාජයට ඉතා වටිනා පුද්ගලයෙකු බවට පත් වනු ඇත. එම වටිනාකම් සමඟින් සුදුසු පුද්ගලයෙකු හා සතුටින් යුතුව දෙමාපිය නෑදෑ හිතවතුන්ගේ ආශිර්වාද මැද විවාහය නම් සොඳුරු බැඳීමට එක්වන්න. ඔබ ගැහැණු ළමයෙකු නම් රජ කුමරියක සේ ද පිරිමි ළමයෙකු නම් රජ කුමරුවකු සේ ද අභිමානයෙන් සැරසී සතුට සැනසුම පිරි කැදැල්ලකට ඔබට පි මනින්නට හැකි වනු ඇත. එතෙක් ඔබ ඔබගේ ජිවිතය රැකගන්න.
“ අරලියා මල් ඔහේ පිපුණට පෝය නෑ අවිදින්
වැඩෙයි අව සඳ ගෙවී අටවක නොවී ඉමු ඉක්මන්
ගෙදර බුදුණගෙ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන්
පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් .....
සේනානායක වේරලියද්ද ගායනා කරන මේ ගීතයේ කියවෙන අයුරින් ඔබ ඉක්මන් නොවි ජීවිතයට පසු තැවෙන තීරණ වලට එළඹෙන්නේ නැතිව සිටින්න. යළි යළිත් මතක තබා ගන්න.

ජීවිතේට රිවස් නැති බව.

Sunday, May 14, 2017

--වෙසක් කූඩු --


දිනක් මම අපේ නැන්දා කෙනෙකුගේ නිවසේ නතර වුණා.නැන්දගේ එකම පුතා 9 වසරේ ඉගෙන ගනිමින් සිටියෙ. මල්ලිට වෙසක් කූඩුවක් ගේන්න කිව්වලු ඉස්කෝලෙන් යැයි නැන්දා කීවා.අනේ දුවේ මල්ලිට වෙසක් කුඩුවක් හදලා දෙන්නකෝ.
මේ වෙසක් කූඩුව හදලා දෙනවකෝ. ඒ අපේ මල්ලි.
අනේ අපොයි! අවු 14ක් වෙච්ච කොල්ලෙකුට වෙසක් කූඩුවක් හදන්න බැරි නම් වැඩක් නෑනේ.ලැජ්ජාවෙ බෑ.
වෙසක් කූඩු හදලා සල්ලි හම්බ කරන්න ද? ඔය කූඩුව හදලා දෙනවකෝ කියවන්නෙ නැතිව.
ලැජ්ජයිනේ කොල්ලෙක් වෙලා වෙසක් කූඩුවක් , සරුංගලයක් හදාගන්න බැරි නම්.කවද හරි ඔයා තාත්තා කෙනෙක් වෙලා පුතා කිව්වොත් , තාත්තෙ, මට වෙසක් කූඩුවක් හදලා දෙන්න කියලා, ඔයාට කියන්න වෙන්නෙ දන්නෙ නෑ කියලා. ළමයා කියයි අයියෝ, අපේ තාත්තා වෙසක් කූඩුවක් හදන්න දන්නෙ නැත්නම් වැඩක් නෑ කියලා.
අනේ! නිකං ඉන්නවකෝ. මම කඩෙන් වෙසක් කූඩුවක් ගෙනත් දෙනවනේ එතකොට.
හදන්න දන්නෙ නැත්නම් බලා ගන්න හදන විධියවත්, මම කූඩුවට ඕනකරන බට පතුරු ටික සකස් කළා.
මේ, අක්කෙ, ඔයා ඕක හදලා මට කතා කරනවා මං යනවා.
කොහෙද යන්නෙ ?
මට කම්මැලියි! ගේම් එකක් ගහන්න යනවා.
වෙසක් කූඩුව සාදා නිම කරන්නට සූදානම් කර තිබිය දී නැන්දා පසු දින ප්ලාස්ටික් වෙසක් කූඩුවක් ගෙනත් තිබුණ අතර ඇය විසින්ම එය අලවා කූඩුව මල්ලිට ලබා දුන්නා.
-------------------------------------------------------------------
ඇත්ත. වෙසක් කූඩුවක් සරුංගලයක් හදන්න ඉගෙන ගත්තට ඒකෙන් මුදල් හම්බකරන්න බැරි වේවි. ඒත් වෙසක් කූඩු, සරුංගල් හදලා මුදල් උපයා ගන්න අයත් ඉන්නවා. මහන්සිවෙලා ඉගෙන ගෙන අන්තිමට වෙසක් කූඩු, සරුංගල් විකුණන කෙනෙක්ගෙ තත්වයට තමන් වැටෙන් නෑ කියලා තමයි මල්ලි කිව්ව දේ අදහස.
මේ ඉගෙන ගන්න කිසි දෙයක් අපතෙ යන්නෙ නෑ. අපේ මාමා කෙනෙකුට එයාගෙ විධායක ශ්‍රේණියෙ රැකියාව නැති වුණා වැරැද්දකට අහුවෙලා. මාමාට ලස්සනට චිත්‍ර අ‍ඳින්න පුළුවන්. එයා සිමෙන්ති කොල වලින් වෙස් මුණු හදලා වෙසක් එකට පිට කොටුවෙ විකුණුවා.එ් නිර්මාණශීලීත්වය නොසිතූ විධියට මාමාට පිහිට වුණා.
වෙසක් කූඩුවක්, සරුංගලයක් හදන්න ඉගෙන ගන්න එකේ මූල්‍ය වටිනාකම තමා දැන් මිනිස්සු හොයන්නේ. සල්ලි හම්බ කරන්න බැරි දෙයක් ඉගෙන ගන්න වටින්නෙ නෑ කියලා හිතන්නේ.
ඒත් ආදරණීය දෙමව්පියනි, හිතන්න එහි තිබෙන අනෙක් වටිනාකම් ගැන. කූඩුවක් හදන්න උණ පඳුරක් කපන්න යන විට දරුවට උණ පඳුරේ විශේෂත්වය ගැන කියා දෙන්න පුළුවන්. උණ පඳුර කපා ගෙන ඒවා සුද්ද කරලා, කෝටු ටික සකස් කරගන්න ආකාරය, ඒවාගෙන් විවිධ හැඩයෙ කූඩු සකස් කිරීම යන මේ සියල්ලම කලාවක්. හසුරු කුසලතා වලට මෙවැනි දේ අයිති වෙනවා. ඒ වගේම වෙසක් කූඩුවක් අවසාන නිමාවක් කරා යන තෙක් සකස් කිරීමට හොඳ ඉවසීමක් තියෙන්න ඕන. කොම්පියුටර් ගේම් එකකින් ඔය කියන නිර්මාණශීලීත්වය වගේම ඉවසීම පුරුදු වෙන්නෙ නෑ. හැම දේකම මූල්‍ය වටිනාකම හොයන්නෙ නැතිව දරුවා නිර්මාණශීලී සංවේදී අයෙක් බවට පත් කරන්නට මෙවැනි දේ කියා දෙන්න. සොබා දහමට සමීප කරවන්න.
ඔබත් පහසුවට ප්ලාස්ටික වෙසක් කූඩුවක් හරි කඩේ සාදා නිමකළ වෙසක් කූඩුවක් නම් හැදුවේ, පොසොන් පෝයටවත් දරුවා එක්ක වෙසක් කූඩුවක් හදන්න. උණ බට හොයා ගන්න බැරි නම් අඩුම ගානේ කඩෙන් උණ කූරු ටිකක් අරන් කූඩවක් නිර්මාණය කරන හැටි දරුවට පෙන්වන්න.
වම් මොළය විතරක් නෙමේ දකුණු මොළය වර්ධනය කරගන්න උත්සාහ කරන්න.ඒ සඳහ නිර්මාණශීලීත්වය අත්‍යවශ්‍යයි. දරුවා නිර්මාණශීලී සංවේදී අයෙක් බවට පත් කිරීම ඔබේ යුතුකමක්.

Tuesday, May 2, 2017


video
විසිරුණු රන් සුනු කෘතිය එළි දැක් වූ දින ආරාධිත දේශක තිඹිරියාගම බණ්ඩාරයන්ගේ දේශනය

Sunday, May 17, 2015

සිඳෙන බිඳෙන යළි පිබිදෙන අපේ ජීවන ගමන

------සිඳෙන බිඳෙන යළි පිබිදෙන අපේ ජීවන ගමන------
අප මෙලොව උපදින්නේකලින් තීරණය කරගත් පරිදි නොවේ.මරණය ද එලෙසම ය. උපත හා මරණය අතර දෝලනය වන ජීවන ගමනේදී අපට ලාභ , අලාභ,යස , අයස, නින්දා, ප්‍රශංසා අදී අටලෝ දහමට මුහුණ දෙන්නට අපට සිදුවේ. සැප සතුට අසල අපරිමිත ප්‍රීතියෙන් සිනා සෙන්නටත් දුකේදී හඬා වැටෙන්නටත් අපි පුරුදුව සිටිමු.එය මිනිස් ස්වභාවයයි.ජීවත් වන බව අපට දැනෙන්නේ ද මේ ජීවතයේ විවිධත්ව නිසා ය.
ගත වූ ජීවිතයේදී අපට කුසගින්නේ සිටින්නට සිදුවන්නට ඇත. ඇතැම් විට අද දවස ගෙවී ගියේද කුස ගින්නෙන් සහ දුක් පීඩා රැසක් මැද්දේ වන්නට පුළුවන. යකඩය මුවහත් වන්නේ තැලෙන තරමට ය.එලෙසින් අප ශක්තිමත් වන්නේ අර්බුද වලට මුහුණ දෙන විට ය.
කලුගලක් බුදුරුවක් වී පිදුම් ලබන්නේ කටුවෙන් මිටියෙන් දෙන පහර ඉවසා සිටීම නිසා ය. දැව කඳක් බිතු කැටයමක් වී ඇගයුම් ලබන්නේ ද එලෙසිනි.
ශාන්ත ජයලත් තිසේරා රචනා කළ අමරසිරි පීරිස් ගයන මේ ගීතයෙන් කියවෙන්නේත් සිඳෙන බිඳෙන යළි සැනසෙන හදවතක අසිරියයි.
“ කලා වැව හිඳෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ සිත බිඳෙනවා - ආයෙමත් හැදෙනව
ජීවිතයේ හෙට දවස සුන්දර කර ගැනීමට නම් අද දවසට ධෛර්යෙන් මුහුණ දිය යුතුය.රක්න ශ්‍රී “ “වස්සානය “ නම් කාව්‍ය යෙහි මෙලෙස කියයි.
“ දුෂ්කරය කියා හැර යායුතු ද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මල්ක වනු පිණිස
ඇතැම් විට මුදල් සමාජ තත්වය යන අංශයන්ගෙන් අප පහතට ම වැටී සිටිනවා වන්නට පුළුවන. නැතිනම් අලාභ, අයස,නින්දා ආදිය නිසා දුක් පීඩා වලට මුහුණ දෙමින් සිටිනවා විය හැක. පොව කිසිදු දෙයක් සදාකාලික නැත. එනිසා ප්‍රශ්න බාධක සැමදා අප ළග රැඳී පවතින්නේ නැත. “ කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා“ යනුවෙන් ජනවහරේ කියමනක් අප අසා ඇත. එලෙසින් දුකෙහි ප්‍රතිඵලය සුමිහිරි ඵලයක් බවට පත් විය හැකිය.
අප දුෂ්කරතා විඳින්නේ යහපත් අරමුණක් උදෙසා නම් , අප අයසට නින්දාවට පත් වන්නේ නොකළ වරදකට නම් නිසැකවම සාධාරණය ඉටුවී සොම්නස අප වෙක ළඟා වේ. අවාසනාවේ අන්තයට පැමිණි විට වාසනාව ආරම්භ වන බව ජපන් සෙන් කතාවක සඳහන් වේ.
රත්න ශ්‍රී පවසන ලෙසම දුෂ්කර යැයි කියා අප ජීවිතය හැර යා යුතු නොවේ. හෙට දිනයේ මලක්වී සුවඳ දසත පතුරුවන්නට නම් අද දවසේ විඳින්නට සිදුවන දුක් කරදර වලින් පන්නරය ලබා අදිටනින් නොනැවතී ඉදිරියට යා යුතු වේ. අප ජීවිතය විඳවිය යුතු නැත. අප කළ යුත්තේ ජීවිතය විඳීමයි. සතුටෙහි මෙන්ම දුකෙහි වින්දනාත්මක බව ගීත හා කනි තුළ අන්තර්ගත වී තිබේ. අපට ද අපේ දුක් දොම්නස් වින්දනාත්මක ගීතයක් කවියක් බවට පත් කරන්නට හැකිය.
රත්න ශ්‍රී “ සමුගැනීම“ නම් කාව්‍ය තුළ මෙලෙස සඳහන් කරයි
ආ ගමන හරි දුෂ්කරයි
අප විටෙක ඇද වැටුණා තමයි
එහෙත් නතරව එතැන
වැළපිය යුතු නොවෙයි
අප යායුතුයි
දුකක් වේ්දනාවක් දැනුණ විට හඬා වැළපුණත් එහිම ඇලී ගැලී සිටීමෙන් දියුණුව කරා යාමට නොහැකි වේ. කඳුළු වලට ගලා යන්නට ඉඩ දිය යුතුය. එවිට හදවතේ පීඩාවන් සැහැල්ලු කර ගැනීමට හැකිය. සිත සැහැල්ලු කර ගත් පසු වැටුණාටත් වඩා දෙගුණයක ශක්තියෙන් නැගී සිටීමට හැකියාව ලැබේ.
රත්න ශ්‍රී සමුගැනීම කාව්‍ය අවසන් කරන අයුරු අපූරුය.
“ හෙට පිපෙන මල් අද රෑම
කට කොණින් හිනැහෙනවා පෙනෙයි
ඉවසන්න ඒවා පිපෙයි
දත් පෙනෙන්නේ තාමත් ටිකයි,
දුකක් කඳුලක් වුව ද එය විඳින මොහොතේ විශාල වේදනාවක් ගෙන දුන්න ද පසු කාලයක දී දුක දිනා ජය ගත් පසු ඒ දුක අතීතයේ සොඳුරු වින්දනයක් ලෙසට දැනෙයි. අප කළ යුත්තේ ජීවිතයට ගලා යාමට ඉඩ දීමයි.
---------- චාමිකා ජනානි ද සිල්වා----------------

Friday, May 8, 2015

නිහැඬියාවේ මිහිර

නිහැඬියාවේ මිහිර

ඔබට කෙතරම් කාලයක් නිශ්ශබ්දව සිටිය හැකි ද? උත්සාහ කර බලන්න. මිනිසාට නෙත් 2ක් හිමිව ඇත්තේ හොඳින් බලන්නට ය. දෙසවන් ඇත්තේ හොඳින් අසන්නට ය. අපට එක කටක් ඇත්තේඅඩුවෙන් කතා බහ කර හොඳින් ලොව බලන්නටත් හොඳින් සවන් දීමටත් ය. එහෙත් අප කරන්නේ ඊට ප්‍රති විරුද්ධ ක්‍රියාවයි. කට ඉස්සර කර ගැනීම නිසා ඇතැම් විට අපට පාඩු සිදු වේ. “මාළුවා නහින්නේ කට නිසා“ යැයි කියන්නට එවිට අප පුරුදුව සිටිමු. එකිනෙකා අතර සන්නිවේදනට පවත්වා ගැනීමට කතා කිරීම අවශ්‍ය නමුත් අන් අයගේ මත වලට ඇහුම් කන් දීමට නම්අප නිශ්ශබ්ද විය යුතුය. එමෙන්ම අපට  අවට ඇති බොහෝ දෑ ඉගෙන ගැනීමට ඇසීමට , දැකීමට , බැලීමට මඳක් නිහඬ වී පරීක්ෂා කාරී විය යුතුය. එමෙන්ම නිහඬ බව යනු අප කුඩා කල සිටම ප්‍රගුණ කර ගත යුත්තකි. 

ඇතැම් විට නිහඬතාවයේ ගැඹුරටම පිවිසුණ විට හිස් බවක් දැනෙයි. ජී.බී. සේනානායක ගේ “නිශ්බ්දතාවය“ නැමැති නිසඳැස් පද්‍ය ඔබ කියවා ඇත. තරුණයෙක් තරුණියක් හා ගං ඉවුරක හිඳ ගෙන සිටියි.තරුණයා පුල පුලා බලා සිටිනනේ තරුණියගෙන් පැනයක් අසන්නට ය.


ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස බැලූ මම
කිසිවක් ඇසීමට
යළිත් සිතීමි
නිශ්ශබ්දතාවය දැඩි විය
පෙදෙස වසා ගෙන පැතිරුණු
නිහඬ බවින් මිරිකුණු මම
ඇගේ
රන් වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කර බා ගතිමි.........

නිහඬ බව බිඳ ඔහු කතා කරන්නට සූදානම් වන හැම විටම පරිසරය කැළඹෙයි. සුළු වශයෙන් වන කැළඹීම් නැවතී යළි පරිසරය නිශ්බ්දතාවෙහි ගිලෙයි. අවසන නිශ්ශබ්තාවය විසින් ඔහුගේ මුව ගොළු කරයි.

අමනාපව සිටින ළබැඳි මිතුරු මිතුරියන් දෙපළකට මෙන්ම සැමියෙකුට හා බිරිඳකට ද මේ නිහැඬියාව වේදනාවකි. ඇතැම් විට කතා කිරීම නිසා තව තවත් සිත පෑරෙන නිසා නිහඬව සිටින්නට අපට සිදු වේ. නිහඬතාවය තුළ කියා නිම කළ නොහැකි තරම් බොහෝ දේ ගැබ් වී ඇත. සුනිල් ආරියරත්නගේ පදවැලකට ජීවය සපයමින් නන්දා මාලිනිය මෙලෙස ගයන්නේ  එවන් නිහැඬියාවක් පිළිබඳව ය.
https://www.youtube.com/watch?v=n-ZQDzvSoaE
“කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතතා නැතිව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හන්දා
සුළඟට සියුම් දාහන් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හන්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

කතා කිරීමේ නිදහසට තහංචි පැනවුණ විට ද “ මුනි වත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා“ යැයි පවසන්නට සිදු වේ.

එනමුත් නිශ්ශබිදතාව තුළ ද අපූරු මිහිරියාවක් ඇත.සුමියුරු ගීතයකට සවන් දෙන්නට නම් අප නිහඬවිය යුතුය.එහි සැබෑ රසය හොඳන් වින්දනය කළ හැක්කේ නිහඬව හොඳින් අසා සිටීමෙනි.චිත්‍රපට නාට්‍ය මෙන්ම චිත්‍ර, මූර්ති ආදී අනෙකුත් කලාවන්හි රසය අපට වින්දනය කළ හැක්කේ නිහඬව ඒවා හි සියුම් රස හදවතින්ම වින්දනය කිරීමෙනි.

ගලන දොළක, සියොතුන්ගේ ස්වරයට නිහඬව සවන් යොමු කරන්න.සොබා දහමේ ආන්නදනීය ස්වරය හා මුසු වන්නට නිහඩව සිටින්න.

නිහැඬයාව තුළින් තම ශ්‍රේෂ්ඨ ජීවිතය යළි පණ ගන්වා ගත් පුද්ගලයෙකි මහත්මා ගාන්ධීතුමන්. එතුමා සෑම සිකුරාදා දිනයක්ම නිශ්ශබ්දව ගත කළේ ය. එදිනට අමුත්තන් පිළිගැනීම නැවැත්වී ය. නිහඬ බවින් ගත කළ සිකුරාදා දිනය සිය මනස සුවපත් කර ගැනීමටත් නැවුම් බවින් මනස පුරවා ගැනීමටත් එතුමාට හැකි විය.

නිහඬ බව තුළින් ජීවිතය නැවුම් බවින් පුරවා ගන්නට උත්සාහ කරමු. සෑම දිනකම පැයක් හෝ පැය භාගයක් නිහඬබවේ අපූර්වත්වය විඳන්නට වෙන් කර ගන්න. මේ පැයේ දී හෝ පැය භාගයේදී අපේ සිතේ පවත්නා දුක්ඛ දෝමනස්සයන් ඉවත හොළීම කළ හැකි ය. විශ්වය සමග ගනුදෙණු කිරීමටත් තම සුපිරි මනසට සවන් දීමටත් මේ කාලය යොදා ගත හැකිය.

මේ මොහොතේ අපේ සිතට ගලා එන නැවුම් සිතුවිලි කවියකට ගීතයකට මුසු කරමු. මේතුළින් පෙර නොවූ විරූ අපූරු නිර්මාණ අප අතින් නිර්මාණ වේවි.ලොවසිසූ ශ්‍රේෂ්ඨ චින්තකයින් දාර්ශනිකයින් ලේඛකයින් ආගමික ශාස්තෘෘන් මේ නිහඬ බවේ මහා ඵලය ලැබූ අයයි.

නිහැඬියාව වේදනාවක් තනිකමක් බවට පත් කර නොගෙන එහි මිහිරි බව තුළින් ජීවිතය අර්ථවත් කර ගනිමු.


----- චාමිකා ජනානි----------




Thursday, May 7, 2015

වියළි අතු ඉති පරඬලා පත් ඉතිරි නොකොටම බිම හෙලා පිණි කඳුළු බිඳු සමග මුසු කළ සාරයෙන් යළි සැරසුණා.... රළු පරළු බිම නැගී හිරු දෙස බලා මුව මදහස සලා හරිත අතු ඉති විදා සතොසින් මලින් පුරවා හිනැහුණා...... රිදුණු හදවත විඩා නිවමින් තුරු සෙවණෙ හිඳ සැනසිලා රිදුම් අතරින් සිනා කිරණක් වසන්තය වෙත යා කළා.........

--චාමිකා ජනානි--

Tuesday, February 3, 2015

https://www.youtube.com/watch?v=d--cK_7tzPM
“ උගතමනා ශිල්පයමයි මතු රැකෙනා“ යන්න පැරණි කියමනකි.ඒනමුත් සංකීර්ණ වූ නූතන සමාජයේ දී මේ කියමන වෙනස් ආකාරයට පෙරළී සක්ස් වී ඇත. එනම් “ මතු රැකෙනා ශිල්පයමයි උගත මනා“ යනුවෙනි. අධ්‍යාපනය ලැබූ උගතුන් බුද්ධිමතුන් මාවතට විසි වෙද්දී , නූගතුන් ඉහළ පුටු වල වැජඹෙන්නේ මේ නිසාය.රත්න ශ්‍රී තගෛ්ය පද රචනයට හසු කරගනනේ වත්මන් අධ්‍යාපනය ක්‍රමයේත් , දේශපාලනයේත් සමාජ රටාවේත් පවත්නා සෝදා පාළුවයි.

ගීතය සවනට යොමු විටම අපට මතකයට නැගෙන්නේ

අල්ලට සිඟාවිත් රස නැති කැවිලි කකා
වල් කොළ අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා ගීතයයි.රත්න ශ්‍රී මෙම නවිය වත්මන් සමාජයට අපූරුවට ගලපා තිබේ.

අධ්‍යාපනය සාක්ෂාත් කර ගන්නට වෙර දරන තරුණ තරැණියන්ගේ ජීවිත පිරී ඇත්තේ දුක් කම් කටොළු වලිනි.විශ්ව විද්‍යාල නේවාසිකාගාර හෝ පෞද්ගලික නේවාසිකාගාර වල වෙසෙමින් කුසට නිසි අහරක් අඳින්නට නිසි ඇඟළුමක් නිදහසේ අධ්‍යාපන කටයුතු කරන්නට සුදුසු ඉඩ කඩක් නොමැතිව ඔවුන් කරන්නේ දුෂ්කර ක්‍රියාවකි.

අනෙක් තරැණ තරුණියන් මෙන්ම නව විලාසිතා කරන්නට ද රිසි රිසි රස මසවුළු බුදින්නට ද ඔවුන් ද කැමතිය. එහෙත් සිය අසරණ දෙමව්පියන් දුකසේ හරි හම්බ කර එවනු ලබන සොච්චමෙන් ඉතා අසීරුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කරන ඔවුන්ට මේ සියල්ල සිහිනයක් පමණකි.


“ උගතමනා ශිල්පයමයි මතු රැකෙනා“ යන්න පැරණි කියමනකි.ඒනමුත් සංකීර්ණ වූ නූතන සමාජයේ දී මේ කියමන වෙනස් ආකාරයට පෙරළී සක්ස් වී ඇත. එනම් “ මතු රැකෙනා ශිල්පයමයි උගත මනා“ යනුවෙනි. අධ්‍යාපනය ලැබූ උගතුන් බුද්ධිමතුන් මාවතට විසි වෙද්දී , නූගතුන් ඉහළ පුටු වල වැජඹෙන්නේ මේ නිසාය.රත්න ශ්‍රී තගෛ්ය පද රචනයට හසු කරගනනේ වත්මන් අධ්‍යාපනය ක්‍රමයේත් , දේශපාලනයේත් සමාජ රටාවේත් පවත්නා සෝදා පාළුවයි.

ගීතය සවනට යොමු විටම අපට මතකයට නැගෙන්නේ

අල්ලට සිඟාවිත් රස නැති කැවිලි කකා
වල් කොළ අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා ගීතයයි.රත්න ශ්‍රී මෙම නවිය වත්මන් සමාජයට අපූරුවට ගලපා තිබේ.

අධ්‍යාපනය සාක්ෂාත් කර ගන්නට වෙර දරන තරුණ තරැණියන්ගේ ජීවිත පිරී ඇත්තේ දුක් කම් කටොළු වලිනි.විශ්ව විද්‍යාල නේවාසිකාගාර හෝ පෞද්ගලික නේවාසිකාගාර වල වෙසෙමින් කුසට නිසි අහරක් අඳින්නට නිසි ඇඟළුමක් නිදහසේ අධ්‍යාපන කටයුතු කරන්නට සුදුසු ඉඩ කඩක් නොමැතිව ඔවුන් කරන්නේ දුෂ්කර ක්‍රියාවකි.

අනෙක් තරැණ තරුණියන් මෙන්ම නව විලාසිතා කරන්නට ද රිසි රිසි රස මසවුළු බුදින්නට ද ඔවුන් ද කැමතිය. එහෙත් සිය අසරණ දෙමව්පියන් දුකසේ හරි හම්බ කර එවනු ලබන සොච්චමෙන් ඉතා අසීරුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කරන ඔවුන්ට මේ සියල්ල සිහිනයක් පමණකි.


එලෙස අසීරැවෙන් ලබා ගන්නා උපාධිය අද මිල මුදල් හමුවේ අවලංගු කාසියක් බවට  පක්ව ඇත.විශේෂයෙන් කලා උපාධියකට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි.“ කලාව කලොත් මලා තමයි“ යනුවෙන් කියමනක් වත්මන් සමාජය තුළ ගොඩ නැගී ඇත්තේ මේ නිසා ය.

බොහෝ දුෂ්කර ක්‍රියා කරමින් අධ්‍යාපනය සාක්ෂාත් කර ගත්ත ද දේශපාලකයෙකුගේ සහතිනයත් , සුප්‍රසිද්ධ විද්‍යාලයක ඉගෙන ගත් බවට සහතිකයත් නැති නම් රැකියාවක්ලබා ගැනීම ද අපහසු ය.රත්න ශ්‍රී උත්සාහ කරන්නේ සමාජ යථාර්ථය ඉස්මතු කර පෙන් වීමට ය.

ගණ දෙවියන් යනු නුවණට අධිපති දෙවියාය.ඔහු කෘෂ වී ඇත්තේ මන්ද? නුවණට හා අධ්‍යාපනයට  පුද සැලකිලි දක්වන්නන් විරල වීම නිසා ය. උගතුන්ට හා බුද්ධිමතුන්ට නොසලකා හැරීම මෙයින් නිරූපනය වේ. 

රත්න ශ්‍රී යොදා ගන්නා බෝඩිං, කොම්පියුටර් වැනි ඉංග්‍රීසි වදන් ද , කෙට්ටු වෙලා, ඡන්දෙට ගිනි තැප්පට  වැන් වදන් සුගායනීය වදන් නොවේ. නුමුත් මෙවැනි කඨෝර වදන් යොදා ගනීම තුළින් ම සමාජයේ කටුකත්ව අවධාරණය කර පෙන්වීමට රත්න ශ්‍රී සමත්ව තිබේ.

සියල්ල අලෙවි වන ලොව තුළ කලාව අලෙවි නොවේ. අලෙවි වන කලා කරුවන් ඇති නමුත් ඔවුන් සැබෑ කලා කරුවන් ලෙස හැඳින්විය නොහැක. මිසිසාට අද නොමිලයේ ලැබෙන්නේ හිරු එළියත් සඳ එළියත් පමණි. එහෙත් ඒ කිසිවකින් අප කුස ගිනි නොනිවේ.සඳ එළියෙන් කිසිදා ලිප ගිනි දැල් නොනිවේ යනුවෙන් රූපනය කරන්නේ එයයි.

රත්න ශ්‍රී පවසන පරිදි රන් අකුරින් නම ලියැවුණු රන් කැටි පුත්තු කවරහු ද? දේශපාලකයන්ගේ , ධනවතුන්ගේ දූ පුතුන් ය. සමාජයේ ඉහළින් වැජඹිය හැක්කේ ධනය බලය හිමි රන් කැටි දූ පුතුන්ට පමණි.

වත්මන් සමාජය දෙස තියුණු බැල්මක්හෙලන මෙම ගීතයෙන් බුද්ධිය කෘෂ වූ සමාජය ඉස්මතු කර පෙන්වන්ට රත්න ශ්‍රී සමත්ව ඇත. අධ්‍යාපය උදෙසා දුෂකර ක්‍රියාවක යෙදෙ සිසු සිවියන්ගේ ජීවිතයෙන් බිඳක් ද මෙයින් නිරූපිත ය.

රත්න ශ්‍රී ගේ අරමුණ සාක්ෂාත් කරමින් සංගීතය මුසු කරන්නටත් සංවේදී හදවත් ප්‍රකම්පනය කරමින් ගයන්නටත්  විශාරද ගුණදාස කපුගේ  සමත් වී ඇත.