Wednesday, April 3, 2019

කායිකව හා මානසිකව දරුවන් පෙළන දඬුවම වෙනුවට උපස්ථම්භන භාවිත කරමු!

මොනවද මේ උපස්ථම්භන?

කිසියම් චර්යාවක් ශක්තිමත් කිරීමට හෝ දුර්වල කිරීමට හේතු වන ක්‍රියාදාමයක් ලෙස උපස්ථම්භන සරළව හැඳින්විය හැකියි.
උපස්ථම්භන ලෙස අප මනෝ විද්‍යාවේදී මෙම ක්‍රියවලිය හැඳින්වුව ද අප නොදැනුවත්ව ම විවිධ අවස්ථා වලදී උපස්ථම්භන යොදා ගෙන තිබේ. මේ ලිපියේ අරමුණ උපස්ථම්භන සක්‍රීයව යොදා ගනිමින් ළමයෙකු තුළ යහපත් චර්යාවන් ඇති කිරීමත් අයහපත් චර්යාවන් ඉවත් කිරීමත් පිළිබඳ සාකච්ඡා කිරීමයි.

උපස්ථම්භන කායික හා මානසික ලෙස බෙදා දක්වයි.කායික උපස්ථම්භන යනු මිනිසාට ජීවත් වීමට අත්‍යවශ්‍ය වන ආහාර, ජලය. වාසස්ථාන වැනි මූලික අවශ්‍යතාවන් ය. එනම් කායික උපස්ථම්භන භාවිත කිරීමේ දී මෙම මූලික අවශ්‍යතා සැපයීම හෝ අවම කිරීම සිදු කරයි.

මානසික උපස්ථම්භන යනු  පුද්ගලයාට මානසිකව බලපාන සාධක උපස්ථම්භන ලෙස භාවිතා කිරීමයි.
උදා: ආදරය, ප්‍රශංසාව, විවේකය

*වචනයෙන් කරන අනුමත කිරීම් - උදාහරණ - ඉතාම හොඳින් ඔබ වැඩේ කළා, 
  • අනුමත කිරීමේ කෙටි වදන් - අති විශිෂ්ඨයි! අපූරුයි!
  • ශාරීරික සංඥා - මහපට ඇගිල්ල උඩට ඔසවමින් නියමයි! යනුවෙන් පෙන්වීම,
  • අගය කරන ක්‍රියාකාරකම් - පිටට තට්ටු කිරීම. අතට අත දීම.* ප්‍රශංසා කිරීම  - ප්‍රශංසා ලිපි ලබා දීම, ප්‍රසිද්ධ උත්සව වලදී හෝ පෞද්ගලිකව ප්‍රශංසා කිරීම
  • * බහුමාන - විභාග වලදී ලබා දෙන ශ්‍රේණි, පන්ති සාමාර්ථ, රාජ්‍ය සේවයේ ශ්‍රේණි ක්‍රමය, උසස් කිරීම්සේවය අගය කිරීම සඳහා ලබා දෙන නම්බු නාම, සම්මාන
  •  * සංඛේත ලබා දීම - සිසුනට ලබා දෙන හරි ලකුණු. තරු ලකුණු, හමුදා සේවයේ ලබදෙන පදක්කම් හා වර්ණ
* ටෝකන භාවිතය -  ටෝකන යනු ළමයින්ගේ “ ලට පට මල්ලේ“ ඇති සිප්පි කටු, කාසි. මුද්දර, ස්ටිකර්, පබලු ඇට, රබර් ඇට, මදටිය ඇට, පින්තූර ආදියයි. මේවාට ආර්ථික වටිනාකමක් නැති වුව ද විනෝදංශය සඳහා භාවිතා කරන බැවින් උපස්ථම්භන ලබා දීමට භාවිතා කළහැකිය.

කායික දඬුවම් වෙනුවට යම් කිසි චර්යාවක් වෙනස් කිරීමට හෝ  අලුතෙන් ඇති කිරීමට ඉහත කී අයුරින් උපස්ථම්භන භාවිත කළ හැකියි. 

උපස්ථම්භන වර්ග කිීපයකි. 
  • පරිභෝජනය කළහැකි උපස්ථම්භන - උදා - ආහාරයට ගත හැකි දේවල්
  • ක්‍රියාකාරකම්  - උදා - පොත් බලනවා, ක්‍රීඩා කරනවා
  • කාලය ගත කිරීමට ඇති ද්‍රව්‍ය - සෙල්ලම් බඩු, පාට පෙට්ටි
  • සමාජීය වැදගත්කමක් ඇති - ආදරණීය බව, පිළි ගැනීම, සිනහ වීම,
උපස්ථම්භන භාවිත කරමින් ළමයින් තුළ අපේක්ෂිත චර්යා ඇති කිරීම හෝ චර්යා වෙනස් කිරීම කරන්නේ කොහොමද?

ලකුණු සටහන් - Point chart

 උදා - පාසල් යාම ආරම්භ කළ ළමයෙකු ගේ දින චර්යාව  සකස් කරන ආකාරය

* උදෑසන 6 ට තනිවම අවදි වීම                                    -  ලකුණු 10
* තනිවම මුහුණ සෝදා ගෙන පාසල් යාමට සූදානම් වීම - ලකුණු 10
* උදෑසන ආහාරය ගැනීම                                             - ලකුණු 10
* ආහරයෙන් පසු භාවිතා කළ පිගන් හා කෝප්ප සේදීම - ලකුණු 10
* පාසලෙන් ලබා දුන්ගෙදර වැඩ අවසන් කිරීම              - ලකුණු  10
 මෙය තමන්ට අවශ්‍ය පරිදි  වගුවක් ආකාරයෙන් සකසා වෙනස් කිරීමට බලාපොරොත්තු වන චර්යාවන් සටහන් කොට සකසා ගත හැකිය. මාසයකට එකක් වශයෙන් සකස් කළ හැකි අතර මාසය අවසානයේ ලකුණු එකතු කළ යුතුය. ඉහත කී කාර්යන් අඩක් සම්පූර්ණ කරන්නේ නම් ලකුණු අඩක් ලබා දිය හැකිය. ලැබෙන ලකුණු අනුව මාසය අවසානයේ දරුවා අගය කර සුළු ත්‍යාගයක් ලබා දීම, විනෝද චාරිකාවක් රැගෙන යාම, කැමති ආහාරයක් සකසා දීම ආදියත් කළ හැකිය.

හොඳ හැසිරීම්  Good Behavior Jar


එකම ප්‍රමාණයේ බෝතල් කිහිපයක් ගෙන අලුතින් ඇති කළ යුතු හැසිරීම්  ලියූ පින්තූරයක් හෝ ලේබලයක් එම එකිනෙක බෝතල් වල අලවන්න.

උදා - කාමරය පිළිවෙලට තබා ගැනීම. කරුණාවන්ත වීම/ අනෙක් අයට උපකාර කිරීම, ආහාර ගත් බඳුන් සේදීම

මෙම බෝතල වලට දැමීමට හැකි පබලු, සිනා මුහුණු බැජ්, මදටිය ඇට හෝ රබර් ඇට වැනි දෙයක් ගන්න. ලේබල් කරන ලද බෝතල් වල සඳහන් ක්‍රියාවක් කළහොත් අදාල බෝතලයට පබලු ඇටයක් දැමීමට දරුවාට ලබා දෙන්න. සතිය අවසානයේ බෝතයේ පිරී ඇති  ප්‍රමාණයට අනුව ගැලපෙන සුලු තෑග්ගක්. ප්‍රිය කරන ආහාරයක්, ස්ටිකර් එකක් වැනි දෙයක් ලබා දෙන්න.

උපස්ථම්භන ලබා දීමේ දී සැලකිය යුතු විශේෂ කරුණු කිහිපයක් ලීනියර් විසින් පෙන්වා දී ඇත.

** ඉලක්ක ස්ථාපිත කිරීම.

යම් චර්යාවක් පුහුණු කිරීම සඳහා ඉලක්ක ස්ථාපිත කරයි.

උදා - විභාගය සමත් වීම - ඒ සාමාර්ථ 10ක් සමග විභාගය සමත් වීම,  රැකියාවක් ලබා ගැනීම -  ගුරුවරයෙකු වීම, මුදිරීම - මේ වසරේදී රු ලක්ෂයක් ඉතිරි කිරීම.

** ඉලක්කය සඳහා ඇති චර්යාව සමාන කොටස් වලට බෙදීම.

උදා - උසස් පෙළ විභාගය ඒ 3ක් සමග සමත්වීම -  වාර විභාගයේ දී සියලුම විෂයන්ට 70න් ඉහළ ලකුණු ලබා ගැනීම - වාර විභාගයේ දී පන්තියේ පළමු දහ දෙනා අතරට පැමිණීම

2.  ඉලක්කය -  පාසල් යාමට උදෑසන නැගිටීමට හුරු කිරීම
 සතියක් උදෑනම අවදිවීම - සති 2ක් උදෑසනම අවදිීවීම, මාසයක් උදෑසනම අවදි වීම, මාස කු උදෑසනම අවදිවීම.

** සෑම කොටසකට ම සමාන උපස්ථම්භන ලබා දීම.

කුඩා කුඩා ඉලක්ක සම්පූර්ණ කරන විට යම් යම් දිරි ගැන්වීම්, ත්‍යාග ලබා දීම.

** එක් එක් කොටස් සම්පූර්ණ කිරීමෙන් පසු අදාල උපස්ථම්භන ලබා දීම.
උදා - ඉලක්ක ගත කරන ලද චර්යාවන් සම්පූර්ණ කිරීමෙන් පසු අදාල ත්‍යාග,දිරි ගැන්වීම් ලබා දිය යුතුය.

උපස්ථම්භන ලබා දීමේදී සැලකියයුතු කරුණු
1.      අදාල ප්‍රතිචාරය දැක්වූ වහාම උපස්ථම්භන ලබා දීම.
උදා - පාසලෙන් ලබා දුන් ගෙදර වැඩ සිදු කළ විට ළමයා අගය කිරීම, තරුවක් ලබා දීම
පමා වී හෝ කල්ගත වී උපස්ථම්භන ලබා දෙන විට කුමන දේ සඳහා එය ලබා දේ දැයි අවබෝධයක් නොලැබේ.

2.      සෑම විටම උපස්ථම්භනය ලබන්නා අගය කරන දෙයක් විය යුතුය.
උදා - ඔවුන්ගේ ලට පට මල්ලලේ වඩාත් ප්‍රිය කරන දේවල්, විනෝදාංශ සඳහා භාවිතා කරන උපකරණ ආදිය

3.      අදාල චර්යාව අප බලාපොරොත්තු වන මට්ටමට නැත්නම් “ ඔබ පෙරට වඩා දියුණු වී සිටිනවා.දැන් ගොඩක් හොඳයි යනුවෙන් අගය කළ හැකිය.


උපස්ථම්භන භාවිතයට අපෙ රටෙන් උදාහරණ කිහිපයක්

හපනා කැලැන්ඩරය
රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන පාඨමාලාව යටතේ මව් වරුන්ට  තම දරුවන් ගේ පෝෂණය නංවාලීමට හඳුන්වා දුන් ක්‍රමයකි. ඉතා කුඩා දරුවන් කෑම කෑමට දක්වන අකමැත්ත වෙනස් කර ඔවුන් ආහාර  සිය කමැත්තනේම ගැනීම සඳහා යොමු කිරීම මෙමගින් සිදුවේ.

දිනය
චූටි හපනා
පොඩි හපනා
ලොකු හපනා
2019.10.25


*
2019.10,30
*


201911.01


*
මෙම කැලැන්ඩරය දරුවාට පෙනෙන තැනක එල්ලා තැබිය යුතුය. ඉන් පසු දරුවා ආහාර ගන්නා ආකාරය අනුව කැලන්ඩරය ලකුණු කළ යුතුය. ආහාර සිල්ලම ගත්විට ලොකු හපනා ලෙස හදුන්වාදෙයි. ලොකු හපනා 20ක් පැමිණි විට ඔහු ප්‍රිය කරන දෙයක් උපස්ථම්න වශයෙන් ලබා දෙයි.

දිනපතා පාසල් එන්නට යොමු කළ ලොසින්ජරය

අපේ රටේ එක්තරා සුවිශේෂී පුද්ගලයෙක් සිය ළමා කාලයේ දී පාසල් යාමට එතරම් කමැත්තක් දක්වා නැත. ඔහුගේ මාපියන්ට ද සිය දරුවන් පාසල් යැවීමේ වදගත්කම පිළිබඳ අවබෝධයක් තිබී නැත. නමුත් එම දෙමාපියන් දරුවන් සියලු දෙනා පාසල් යවා ඇත.
මුලින් කී පුද්ගලයා සිය ළමා කාලයේ දී ඉතා දුප්පත් දරුවෙක් ලෙස හැදී වැඩී ඇත. ඔහුට පාසල් යන්නට පාවහන් හෝ නිසි ලෙස ඇඳුම් තිබී නැත. මොහු ප්‍රාථමික පන්ති වල ඉගෙන ගන්නා කාලයේ දී පන්තිභාරව සිටියේ පබාවතී නම් ගුරුතුමියකි. ඇය ඉතා කරුණාවන්තය. මේ දරුවා දිනපතා පාසලට ඇඳගෙන පැමිණියේ බොත්තම් ගැලවී ගිය කිලුටු කමිසයකි. පබාවතී ගුරුතුමිය දරුවා තමා ළගට ගෙන කමිසය හැට්ටකටු කිහිපයකින් නිසි ලෙස සකසා “පුතා, හැමදාම ඉස්කෝලෙ එන්න ඕනෑ , කියා දරුවාගේ හිස අත ගා ඔහු අතට ලොසින්ජරයක් දෙයි. ඊලග දවසේ මේ දරුවා පැමිණෙන්නේ ද බොත්තම් ගැලවුණු කමිසය ඇඳගෙන ය. පෙර දින කමිසයට ගැසූ හැට්ටකටු කිසිවක් කමිසයේ නැත. ගුරුතුමිය මෙදිනත් කමිසයට හැට්ට කටු ගසා දරුවාට ලොසින්ජරයක් දෙයි.පබාවතී ගුරුතුමියගේ මෙම කාර්ය ඇගේ පන්තියෙන් දරුවා නික්ම යන තුරුම සිදුවේ. මේ දරුවා පාසලට පැමිණෙන්නේ ලොසින්ජරයට ඇල්මෙනි. නමුත් ඔහු වයසින් වැඩෙද්දී ඉගෙන ගැනීමේ වටිනාකම වටහා ගෙන අධ්‍යාපනය නිසි ලෙස ලබා ගෙන විශ්වවිද්‍යාලයට යාමට සමත් වෙයි. අද ඔහු මෙරටෙහි ඉහළම තනතුරක් දරමින් රටට සේවයක් සිදු කරයි. ඔහු පාරේ යන අවස්ථාවක හැට්ටකටු විකුණනු දුටුවහොත් ඒ සියල්ලම මිලදී ගෙන අල්මාරියේ ඇති බෝතලයට දමන්නේ පබාවතී ගුරුතුමිය සිහිපත් කරමිනි.

මේ දරුවා නිතිපතා පාසල් ගියේ පබාවතී ගුරුතුමියගේ කරණාවත් ඇය ලබා දුන් ලොසින්ජරය කෑමටත් ය.  එය මේ දරුවාට උපස්ථම්භනයක් විය.

මෙම ක්‍රමවේදය නිසා දරුවන් කායික මානසික අපහසුතාවයන්ට පත් නොකර අපට අවශ්‍ය චර්යාවන් දියුණු කිරීම සිදු කළ හැකිය. එමෙන්ම දරුවන් හික්මවීමට දෙමාපියන් හා ගුරුවරුන් ලෙස ගන්නා කායික හා මානසික වෙහෙසින් තොරව සතුටින් දරුවන් හා ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.


චාමිකා ජනානි ද සිල්වා ( BA, Diploma counseling & Psychotherapy.)



1 comment: