ගීත රසාස්වාද

වනේ වන ඵල මියුරු වූ දා
නැතේ ළග සියොතුන්.........


“නැත ලොවේ අන් රසඳුනා
ප්‍රේමයම සේ සුව දෙනා“ යනුවෙන් මහාචාර්ය සරත්වන්ද්‍රයන් පවසා ඇත.මෙලෙස රසඳුනක් ලෙස දැනෙන ප්‍රේමයම විරහවක් බවට පත් වූ විට එය තරම් සිත දවන දෙයක් ද ලොව නැත.

ප්‍රිය විප්‍රයෝගය මෙන්ම අප්‍රිය සම්ප්‍රෙයා්ගය ද දුකක් ලෙස බුදුරදුන් පෙන්වා දී තිබේ.මේ අතරින් තමන් පෙම් කළ පෙම්වතිය හෝ පෙම්වතාගෙන් වියෝ වීම පෘතග්ජනයින් වන අපට දරා ගත නොහැකි ශෝකයකි.

ප්‍රේමයක් විවාහයක් දක්වා ගෙන යාමේදී අපට සමාජ සාධක රැසක් ද ජය ගත යුතු වේ. මේ අතරින් ධනය, පන්තිය,කුලය, නිලය ආදී සාධක ප්‍රධාන වශයෙන් බලපායි. මේ සමාජ සාධක කිසිවක් නොතකා ඒවාට එරෙහිව ගොස් සිය ප්‍රේමය ජය ගත් පිරිසක් ද අප අතර හිඳියි. නමුත් බහුතරයක් උත්සාහ ගන්නේ දෙමාපිය නෑදෑ ආශිර්වාදය මැද සිය ප්‍රේම ප්‍රාර්ථනා සඵල කරගන්නටය. මේ ගීතයේ කථකයා ද උත්සාහ කරන්නේ එලෙස දෙමාපිය ආශිර්වාදය මැද අභිමතාර්ථය සඵල කරගන්නටය.

මේ පෙම්වතා පවසන ලෙසටම ඔහු වටා පවතින අහී දුප්පත්කම ජය ගන්නට ඔහු මහත් උත්සාහයක් ගනී.දුප්පත්කම ජය ගෙන නිලතල , ධනය, බලය ලගා කරගෙන ඔහු සිය කුළුඳුල් ප්‍රේමය සොයා යයි. නමුත් ඒ මනකල් කුළුඳුල් පෙු්මය ඒ වන විට පිට ගම් ගොසිනි.

ජීවිතයේ එක් අන්තයක් සාර්ථක වන විට අනෙක් අන්තය අසාර්ථක වේ. මෙය ලොව සනාථන සත්‍ය වුවද එය එලෙසින් පිළි ගන්නට අප සැම විටම සූදානම් නැත.

වසන්ත කුමාර කොබවකයන්ගේ ගීතය අසමතුලිත වූ ජීවිත ගමනෙහි යථාර්ථය පසක් කරවයි. ගීතයේ මුඛ්‍යාර්ථය පසක් කරගන්නට ඔහු යොදා ගන්නා යෙදුම් ද ඉතා ප්‍රබලය.

කථකයාගේ ශෝකී භාවය මැනවින් ඉස්මතු වන සේ තනුව හා සංගීතය යොදා ගන්නට රෝහණ වීරසිංහයන් සමත් වී තිබේ.

සුනිල් එදිරිසිංහයන්ගේ භාව ප්‍රකම්පන හඬ මුසුව මෙය අනෙකෙකුගේ නොව තමන්ගේම අනුභූතියකැයි හැඟේ.

------- චාමිකා ජනානි-----------



https://www.youtube.com/watch?v=aKwnojzxXog

No comments:

Post a Comment