Friday, December 7, 2018

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ‘‘ සල්ගහ යට‘‘ කාව්‍ය සංග්‍රහයේ විචාරය



“ කවිය යන්නෙන් අදහස් කරන්නේ නිරායාසයෙන් ගලා බස්නා ප්‍රබල හැඟීම් සමුදායකි“ යි ලෝ ප්‍රකට කවියෙකු වන විලියම් වර්ඩ්ස්වර්ත් පවසයි. නිසඟ ප්‍රතිභා පූර්ණ කවියෙකු වන රත්න ශ්‍රී විජේසිංහයන්, සිය හදින් ගලනා හැඟීම් සමුදාය “ සල්ගහ යට‘ ට ගෙන එයි.

අධික්‍රියාශීලී ළමයින් පිළිබඳ කියැවෙන දමිළ චිත්‍රපටය “ පසන්ගා“



අධික්‍රියාශීලී ළමුන් හා එම තත්වයේ ලක්ෂණ පිළිබඳ මීට පෙර ලිපියක කතා කළා ඔබට මතක ඇති. ADHD නමින් හැඳින්වෙන අධික්‍රියාශීලී තත්වය මැනවින් අවබෝධ කරගන්නට දමිළ චිත්‍රපටයක් වන පසන්ගා “ ඉතා වැදගත්ය.

මෙහි කවීන් හා නයනා නමින් හැඳින්වෙන ළමයින් දෙදෙනා සිය මව්කුස වල සිටිය දී මව්පියන්ගේ චර්යා රටාව පෙන්වමින් කතාව ඇරඹේ. කවින්ගේ පියා බැංකු නිලධාරියෙකු වන අතර මව ද රැකියාවක් කරයි. කවීන් කුස තුළ සිටිය දී මව වැඩිපුර ආහාරයට ගන්නේ ක්ෂණික ආහාර හා සිසිල් බීම වර්ගයන් ය. උදෑසන රැකියාවට යන්නේ ද කලබලයෙනි. ඔවුන් රූපවාහිනියේ නරඹන්නේ ක්‍රියාදාම සපිරි සිනමාපටයන් ය. මෙම සිනමාපටයන් හි පහර දීම්, දේපල හානි කිරීම් ආදිය මව මහත් අභිරුචියෙන් නරඹයි. එවිට කුස තුළ සිටින දරුවා ද මවට පයින් පහරක් එල්ල කරයි. එනම් දරුවා මව් කුසේ සිටම ප්‍රචණ්ඩත්වයට ඇලුම් කරන්නට පටන් ගනී.

නයනාගේ මව ද දරුවා කුසේ දරා සිටින කාලයේ දී පසුවන්නේ මානසික පීඩනයෙනි.ඇයට අවශ්‍ය කරන සෙනෙහස සැමියගෙන් නොලැබේ. ඇය කැමති ආහාර ආදිය සැමියා උවමනාවෙන් සපයා නොදෙයි. ඉතා වෙහෙසට පත්ව සිටින සැමියා බිරිඳ ගැන සොයා බලන්නේ අඩුවෙනි. මේ තත්ත්වය යටතේ නයනාගේ මව සිටින්නේ ශෝකයෙනි. එය දරුවාට තදින් බලපා ඇති බව පසුව පෙනේ.

මෙම පවුල් දෙකේම මව්පියන් දරුවන් ඉපදීමට පෙරම සිතන්නේ දරුවන් ඉතා උසස්ම පාසලකට යොමු කිරීමට ය. මේ සඳහා දරුවන් ඉපදීමට පෙර සිටම පාසලට අයදුම්පත් යොමු කරයි.එහෙත්  කවීන් සහ නයනා එක පාසලක රඳවා තබන්නට දෙමාපියන් අසමත් වේ. වසරක් ඇතුලත දරුවන් දෙදෙනා පාසල් කිහිපයකට මාරු කරන්නට සිදුවන්නේ පාසලේදී විනය නීති කඩා දමමින් අන් අයට හිරිහැර වනසේ හැසිරීම නිසා ය. පාසල පමණක් නොව මේ දරුවන් දෙදෙනා නිසා මේ පවුල් වලට සිය නිවාස ද මාරු කිරීමට සිදුවේ. වෙනත් තැන් වල සිටි කවීන් හා නයනා යන දරුවන් මුණ ගැසෙන්නේ තමන් සිටි නිවස අතහැර දමා කවීන්ගේ පවුලේ අය නයනාගේ පවුලේ අය පදිංචිව සිටින මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණීමෙනි.

කවීන් හා නයනා යන දරුවන් අධික්‍රියාශීලී ලෙස හැසිරීමට හේතු වන ඔවුන්ගේ නිවෙස් වල පරිසරය පිළිබඳව  ද  චිත්‍රපටයේ පෙන්වා දෙයි.

කවීන් නැමැති දරුවා උදෑසන අවධිකරවන්නේ ඔහුට ඇසෙන සේ රූපවාහිනියේ කාටූන් ක්‍රියාත්මක කිරීමෙනි. ඔහු අවදිව රූපවාහිනියේ කාටූන් නරඹමින් සිටි විට මව පැමිණ ස්නානය කරන්නැයි පවසයි. ඔහු එයට අකමැති වන නිසා රූපවාහිනිය අක්‍රීය කොට ඔහුව නාන කාමරයට දමා දොර වසයි. ඉන් පසුව ඔහු ජල කරාමය විවෘත කරමින් වසමින් ස්නානය කරන්නට පටන් ගනී. ඉක්මනින් ස්නානය කරන්නැයි මව පැවසුවත් කවීන් තැකීමකට ලක් නොකරයි. මේ නිසා නැවතත් රූපවාහිනිය ක්‍රියාත්මක කොට දමිළ චිත්‍රපටයක නර්තන අවස්ථාවක් කවීන්ට ඇසෙන්නට සලස්වයි. එවිට කවීන් නර්තනයේ යෙදෙමින් ස්නානය කොට නාන කාමරයෙන් ඉවතට පැමිණේ. ඔහු ඇග පිසදමන්නේත් චිත්‍රපටයේ සංගීත රිද්මයට අනුව නර්තනයේ යෙදෙමිනි. කවීන් සියල්ල පසෙක ලා රූපවාහිනිය ඉදිරියට විත් නර්නයේ යෙදෙයි. එය නතර කරන්නට රූපවාහිනිය විසන්ධි කරන්නට මවට සිදු වෙයි. මේ අයුරින් නිවසේ පරිසරය ද මෙම ළමුන්ගේ හැසිරීම වෙනස් කිරීමට බලපා තිබේ.

කවීන් සහ නයනා දෙදෙනාම විවිධ මනෝ වෛද්‍යවරුන්ට යොමු කළ ද එම වෛද්‍යවරුන් මොවුන්ගේ නිවැරදි තත්වය වටහා නොගනී. නිරර්ථක පරීක්ෂණ වලට භාජනය කරමින් දෙමාපියන්ගෙන් මුදල් වියදම් කරවයි. මේ නිසා කවීන් හා නයනාගේ දෙමාපියන් ඉතා වෙහෙසටත් කලකිරීමටත් පත්ව සිටී.

කවීන් සහ නයනාගේ පවුල්  එකම නිවාස සංකීර්ණයට පැමිණි පසු මිත්‍ර වන ළමුන් දෙදෙනා එක්ව විවිධ දඟකාරකම් කරන්නට පටන් ගනී. ඔවුන්ගේ දඟකාරකම් අවසන් වනනේ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් මෙම පවුල් දෙකේ අයට ඉවත් වෙන්න යැයි පැවසීමෙනි. ඉන් පසු කවීන් සහ නයනාගේ දෙමාපියන් මෙම දරුවන් දෙදෙනා නේවාසික පාසලකට ඇතුළත් කරයි.නේවාසික පාසලේ දී තනිවම සිය කටයුතු කර ගැනීමට සිදුවීමත් දෙමාපියන්ගෙන් වෙන් වීමත් නිසා ළමුන් දෙදෙනා  නිතර දුකසේ කාලය ගත කරයි. නමුත් එහිදීීද අනෙක් ළමුන්ට හොල්මන් කතා කියා බිය වැද්දීම නිසා දෙමාපියන්ගේ පහර දීම් වලට හා බැණ වැදීම් වලට දරුවන් දෙදෙනා ගොදුරුවේ.

තමිල්“ නැමැති මනෝ වෛද්‍යවරයාට මේ ළමයින් දෙදෙනා හමුවන්නේ නිවාස සංකීර්ණයේදීය. ළමුන් දෙදෙනාගේ ගැටළුව වටහා ගන්නා ඔහු දෙමාපියන්ට කියන්නේ තමා හමුවන ලෙසයි. මනෝ වෛද්‍යවරුන් පසු පස ගොස් තෙහෙට්ටුවට පත්ව සිටින ඔවුන් තමිල්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි. කවීන් හා නයනා යන දරුවන් දෙදෙනා තමිල්ගේ දරුවන් දෙදෙනා සමග මිත්‍රව ඔවුන්ගේ නිවසට යන්නේ අහම්බෙනි. එහිදී ඔවුන් දකින්නේ ළමයින්ට සතුටින් ගත කළ හැකි පරිසරයකි. දරුවන්ගේ වටිනාකම් වලට සලකන, දරුවන්ට නිසි මග පෙන් වන දෙමාපිය යුවලකි. කවීන් සහ නයනා තමිල්ගේ චර්යාත්මක ප්‍රතිකාර වලට යොමු වන්නේ ඉන් පසුවය.

තමිල්ගේ ප්‍රතිකාර සැසි දරුවන්ට විනෝදාත්මක පාසලක් බවට පත් වෙයි. අධික්‍රියාශීලී දරුවන්ගේ අධික්‍රියාශීලී බව පාලනය කිරීමට ක්‍රීඩා සහ නොයොකුත් ක්‍රියාකාරකම් මෙම සැසි වල සිදු කෙරේ. ඒවා සැසි වශයෙන් හඳුන්වනවාට වඩා අපට දැනෙන්නේ එය ළමයින්ට ක්‍රීඩා කිරීමට සකස් කර ඇති උද්‍යානයක් ලෙසයි. ඔවුන්ට ඉනිමං දිගේ ඉහළට නගින්නට, ලෑලි වලින් සකස් කළ පාලම් වල ඇවිදින්නට වැනි ක්‍රියකාරකම් සිදුකෙරේ. විශේෂයෙන්ම තම අවධානය බොහෝ වෙලාවක් පවත්වා ගත යුතු ක්‍රියාකාරකම් සිදු කරයි. උදාහරණයක් ලෙස පෑන් කොපුව අතින් ඉහළට ගෙන ඉතා සෙමෙන් සෙමෙන් පෑන වෙත ගෙන ඒම, මැටි භාජනයක් සකස් කිරීම,රූකඩ ලෙස සෙමෙන් සෙමෙන් කරන චලන , බෝලයකින් ඈත සිට ඩ්‍රම් එකකට ගැසීම, රෙදි සේදීම වැනි ක්‍රියාවන් පෙන්වා දිය හැකිය. එමෙන්ම ධන උපස්ථම්භන මගින්  ( උදා- සිදු කරන යහපත් ක්‍රියාවකට තරුවක් ලබා දීම වැනි) දරුවන්ගේ යහපත් චර්යාවන් වැඩි දියුණු කිරීම ද පෙන්වා දෙයි.



පොදුවේ සියලුම දෙමාපියන්ට පසන්ගා“ තුළින් ලබා දෙන ආදර්ශ---


  •  දරුවන් යනු දෙමාපියන්ගේ උවමනාවන් ඉටු කරන අය නොවන බව පෙන්වා දීම
  • දරුවන් යනු නිවසට පැමිණෙන අමුත්තන්ට විනෝදය සපයන අය නොවන බව
  • දරුවන්ට ද ආත්ම අභිමානයක් ඇති බවත් ඔවුන් ද ගරු කිරීම් බලාපොරොත්තු වන බව.
  • දරුවන්ගේ චර්යාවන්, බුද්ධිය සැකසෙන්නේ මව් කුසේ සිටිය දී බව.
  • හැම දරුවෙකුම සතුව සුවිශේෂී දක්ෂතා පවතින බව
පසන්ගා තුළින් අධික්‍රියාශීලී ළමයින්ගේ හැසිරීම් රටාව හඳුනා ගත හැකි අතර නිවැරදි මග පෙන්වීමක් යටතේ මේ දරුවන්ට තමන්වම පාලනය කරගනිමින් ඔවුන්ගේ දක්ෂතා ඇති අංශයන් වෙත යා හැකි බව මැනවින් පෙන්වා දෙයි.


-