Wednesday, August 11, 2021

සුවිශේෂී දරුවකු හදමු!

 මගේ ඇඟිලි සලකුණට ඔබේ ඇඟිලි සකුණ සමාන ද ? නැහැ නේද? එහෙම නම් වෙන කෙනෙකුගේ ඇගිලි සලකුණකට සමාන ද? කිසි සේත්ම නැහැ. මගේ ඇගිලි සලකුණ මෙලොව සිටින කිසිදු පුද්ගලයෙකුගේ ඇගිලි සලකුණට සමාන වන්නේ නැහැ. එහෙම නම් මම සුවිශේෂී කෙනෙක්! මේ ලිපිය කියවන ඔබත් සුවිශේෂී කෙනෙක්. මෙලොව උපත ලබන සියලුම දෙනා තමන්ට ම අනන්‍ය වූ හැකියාවන් ගෙන් යුක්තවයි මෙලෙව උපත ලබන්නේ.  මේ නිසා එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට සම කරන්න බැහැ.

අපේ දරුවන් අපේ රුව, ගුණ සමග උපත ලැබුවන් ඔවුන් දෙමාපියන්ට සර්ව සම වන්නේ නැහැ. එහෙම නම් අපි ඇයි අපේ දරුවන් තවත් අය සමග සන්සන්දනය කරන්නේ? බොහෝ දෙනා බුද්ධිය අර්ථකථනය කරන්නේ භාෂාමය හැකියාව හා ගණිතමය හැකියාව සමගින්. එවිට වෙනත් හැකියාවන් සහිත පුද්ගලයන් මේ  ගණයට අයත්  නොවිය හැකියි. හොවාඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය තුළින් බුද්ධිය පුළුල් ලෙස අර්ථකථනය කරන්නට උත්සාහ ගෙන තිබෙනවා. 



ගණිතමය බුද්ධිය - ගණිතඥයන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන් 

සංගීතමය බුද්ධිය - සංගීතඥයන්, ගායකයන්

අවකාශමය බුද්ධිය - ගෘහ නිර්මාණ ශිලිපීන්, ඡයා රූප ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්

කායික සංචලනමය බුද්ධිය - නර්තන ශිල්පීන්, ක්‍රීඩකයන්, ශල්‍ය  වෛද්‍යවරු

අන්තර් බුද්ධිය - ගුරුවරුන්, උපදේශකින්

පුද්ගල ඇතුලාන්තර බුද්ධිය - ආගමික නායකයින්

ස්ධවභාධර්ම බුද්ධිය - පරිසර විද්‍යාඥයින්, පරිසර වේදීන්

භාෂාමය බුද්ධිය - ලේඛකයින්, සන්නිවේදකයින්

මේ බුද්ධීන් වර්ග වලට අමතරව ඩැනියෙල් ගොල්මන් චිත්තවේගී බුද්ධිය මෙයුට ඇතුළත් විය යතු බව පේවා දෙයි. තමන් නිවැරදිව තේරුම් ගැනීම, අන්‍යන් තේරුම් ගැනීම, චිත්තවේග පාලනය මෙයට අයත් වේ.

ඔබ විමසිලිමත් වන්න ඔබේ දරුවා අයත් වන්නේ මේ කුමන වර්ගයට ද කියා. ඇතැම් දරුවන් මේ හැකියාවන් කිහිපයක් තිබෙන්නටත් පුළුවන්. දරුවා වඩාත් දක්ෂතා දක්වන ක්ෂේත්‍රය මනාව හඳුනා ගත හොත්  ඔබට පුළුවන් තමන්ගේ දරුවාට නිවැරදි මග පෙන්වීමක් කරන්න.

එමෙන්ම ඔබ නිතරම දරුවන්ට වටහා දෙන්න ඔවුන් සුවිශේෂී අය බව. ඔවුන් මෙලොවට පැමිණ තිබෙන්නේ සුවිශේෂී කාර්යන් රැසක් සිදු කිරීමට බව. ඔවුන්ගේ හැකියාවන් අගය කරන්න. ඔවුන් විසින් කරන කුඩා හෝ යහපත් ක්‍රියාවන් අගය කරන්න. 

ටෙට්සුකෝ කුරයානගී සිය ළමා කාලය ගැන රචනා කරන “ හරි පුදුම ඉස්කෝලෙ“ කෘතියෙ සඳහන් වෙනවා තමන් කොයිතරම් දඟකාර දැරියක වුවත් කොබයාෂි ගුරුතුමා නිරන්තරයෙන් “ දන්නව ද ඔයා හරිම හොඳ ළමයෙක්“ කියමින් ඇයව දිරිමත් කළ බව. එලෙසින් ඔබත් ඔබේ දරුවාව දිරිමත් කරන්න. තමන් වටිනා පුද්ගලයෙකු බව නිරන්තරයෙන් කියා දෙන්න.

ඔබ ගර්භනී මවක් නම් කුසේ සිටින දරුවාට අමතන්න. ඔබ සුවිශේෂී දරුවෙක්! ඔබ ඉතා යහපත් මනා හික්මීමක් සහිත දරුවෙක්! වශයෙන් ආශිර්වාද කරන්න. 

දරුවා උපත ලැබූ පසු දරුවා නිදි යහනට ගිය විට ඔහුට හෝ ඇයට ආශිර්වාද කරන්න. ඔබ ඉතා හොඳ දරුවෙක්, බුද්ධිමත් දරුවෙක්, ඉතා හොඳ ඉවසීමක් ඇති දරුවෙක්,  හොඳ හික්මීමක් සහිත දරුවෙක්, ගැටලු සහගත අවස්ථා වලදී හොඳ නරක වටහා ගෙන වඩා නිවැරදි තීරණ ගැනීමට හැකි දරුවෙක්, සැමට ආදරය කරන සැමගෙන් ආදරය ලබා ගන්නා දරුවෙක් වශයෙන් ඔවුන්ට ආශිර්වාද කරන්න.  

ඔවුන්ට දැනෙන ලෙස ආදරය කරමින් , ඔවුන් හා සමීපව සිටිමින් , දරුවන්ට ඔවුන්ගේ වටිනාකම අවබෝධ කරදෙමින් කටයුතු කරන්නේ නම් ඔවුන් කිසි විටෙක තමන්ගේ ජීවිතයට අනතුරක් සිදු වන ක්‍රියාවන්ට නොපෙළඹෙනු ඇත. 

දරුවන්ට දිදුලන අනාගතයක් හිමි කර දීමට නම් ඔබ දරුවන්ගේ සුවිශේෂීත්වය වටහා ගෙන ඔවුන් සතු හැකියාවන්ගෙන් ඉදිරියට යන්නට මග පෙන්විය යුතුය.