Friday, September 21, 2018

තාරේ සමීන් පර් චිත්‍රපටයේ ඉෂාන් ගෙන් පිළිබිඹු වන ඩිස්ලෙක්ෂියා ( ලිවීමේ හා කියවීමේ අක්‍රමතාව) ලක්ෂණ සහ නිර්මාණශීලී ගුරුවරයෙකුගේ කැපවීම

තාරේ සමීන් පර් යනු ඩිස්ලෙක්ෂියා රෝගයෙන් පෙලෙන දරුවකු කේන්ද්‍ර කරගත් කතා පුවතකි. නමුත් මෙම රෝගී තත්වය පිළිබඳ අවබෝධයක් නොමැති වැඩිහිටියෙකුට  මෙන්ම ළමයෙකුට එම ලක්ෂණ පිළිබඳ අවධානයක් යොමු නොකරමින් වුවද එහි රසය වින්දනය කළ හැකිය. එයට හේතුව තාරේ සමීන් පර් හුදු වාර්තාකරණයෙන් මිදී ඉතා කලාත්මක ලෙස නිර්මාණය කර තිබීමයි.

පසුගිය ලිපියෙන් ඩිස්ලෙක්ෂියා නම් තත්වය පිළිබඳ ගැඹුරින් විග්‍රහ කළ බැවින් ඒ පිළිබඳ නැවත කතා කිරීම අවශ්‍ය නොවන බව සිතමි. දැන් අපි මෙහි එන කතා නායකයා වන ඉෂාන් අවස්ති තුළින් පිළිබිඹු වන ඩිස්ලෙක්ෂියා හෙවත් ලිවීමේ කියවීමේ අක්‍රමතා ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කරමු.

* අපිලිවෙල

ඉෂාන් තුළ පිරිසිදු බව හා පිළිවෙල යන කරුණු දෙකම දකින්නට නොලැබේ. ඔහුගේ ඇඳුම් පැළඳුම් වල පිළිවෙලක් නැත. කාමරය ද ඉතා අපිළිවෙලය. ඇතැම් දින වල සපත්තු නිසි පරිදි  පොලිෂ් කර නොතිබීම නිසා ඔහුට පාසලේ දී දඬුවම් විඳින්නට සිදුවේ. පාසල් ඇරී නිවසට එන ඉෂාන් මව විසින් සකස් කර තිබූ සැන්විච් ආහාරයට ගන්නට සූදනම් වන්නේ අපිරිසිදු දෑත් වලිනි. දෑත් සෝදා ආහාර ගත යුතු බව මව මතක් කර දුන් විට සැන්විච් පෙති මුවේ රුවා ගෙන දෑත් සෝදයි.

*දෛනික කටයුතු නිසි අන්දමින් සිදු කිරීමට නොහැකි වීම.

මුහුණ සේදීම, නෑම වැසිකිලි යෑම සඳහා බොහෝ වෙලාවක් ගනී. කමිසයේ බොත්තම් දැමීම, සපත්තුවක ලේස් ගැටගැසීම, ආචාර පෙලපාලියේ දී වම දකුණ පැටලීම, පන්දුවක් නිසි එල්ලයට යොමු කිරීම, යොමු කරන ලද පන්දුවක් අල්ලා ගැනීම ආදිය ඔහුට ඉතා අසීරු ය.

* ලිවීමේ කියවීමේ දුර්වලතාව

ඉෂාන්ට ලිවීම හා කියවීම කෙතරම් දුෂ්කර වීද යත් ගුරුවරුන් පවසන්නේ ලිවීම හා කියවීම ඔහුගේ හතුරන් බවයි. අද කියාදෙන පාඩම ඔහුට හෙට අමතකය. අකුරු වල හැඩය එය ලිවිය යුතු නියම ආකාරය, ලිවිය යුතු පැත්ත මතක තබා ගැනීමේ අපහසුතාවක් ඇත. උදා - b අකුර d ලෙස ලිවීම. ඇතැම් අවස්තා වල අකුරු නටන්නාක් මෙන් ඔහුට පෙනේ. එමෙන්ම ගණිතමය හැකියාව ද ඉතා අවම මට්ටමක පවතී.

* උපදෙස් තේරුම් ගැනීමේ අපහසුතාව

උදා - 7 වන පරිච්ඡේදයේ 30 වන පිටුවේ 03 වන ඡේදය කියවන්න.
මෙවැනි උපදෙස් ඔහුට තේරුම් ගැනීමට අපහසුය. ඉංග්‍රීසි කාලච්ඡේදයේ දී ඉහත කී පරිදි උපදෙස් දුන් විට ඔහුට නියමිත තැන  සොයා ගැනීමට අපහසුවේ. එය සොයා දෙන්නේ ඔහු ළග සිටි වෙනත් ළමයෙකි.

ලිවීම හා කියවීමේ දුර්වලතාවයත් උපදෙස් පිළිපැදීමේ අපහසුතාවයත් නිසා ඔහු පාඩමට අවධානය යොමු නොකරයි. අවට පරිසරයේ  ඔහුගේ සිත් ගන්නා දෙයට අවධානය යොමු කරයි. ඉෂාන්ගේ ගැටළුව හඳුනා නොගැනීම නිසා ගුරුවරුන් සිතන්නේ ඔහු අදක්ෂ බුද්ධි හීන දරුවකු ලෙසය. මේ නිසාම ඔහු නිතර දඬුවම් වලට ලක්වේ. නමුත් ඉෂාන්ට දඬුවමින් තම ගැටළුව නිරාකරණය කර ගැනීමට හැකියාව නොලැබේ. මේ නිසා දෙමාපියන් තීරණය කරන්නේ එකම විකල්පය නේවාසික පාසලකට ඉෂාන් යොමු කිරීමයි.

නේවාසික පාසලේ දී දෙමාපියන්ගේ සහ සොහොයුරාගේ ආදරය අහිමිවීමත් ඉගෙනීම එපාවීමත් නිසා දැඩි මානසික පීඩනයට පත් වන ඉෂාන් කතා බහ කිරීම පවා නවත්වයි. පොත් පත් සියල්ල කුණු කූඩයට දමයි. ඔහු වඩාත් ප්‍රිය කළ මෙන්ම දක්ෂතා දැක්වූ චිත්‍ර ඇඳීම පවා නවතා දමයි. නිවාඩුවට නිවසට ගිය විට ඔහුට ත්‍යාග වශයෙන් ලැබෙන පාට කූරු දිය සායම් පවා පසෙක තබයි.

නිර්මාණශීලී ගුරුවරයාගේ කැපවීම  හා නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේද භාවිතා කරමින් ඉෂාන්ගේ ගැටළුවට පිළියම් යෙදීම.

නිකුබ් නම් ගුරුවරයා  පාසලට පැමිණෙන්නේ තාවකාලික චිත්‍ර ගුරුවරයෙකු ලෙසිනි. ඔහු පන්තියට ප්‍රවේශ වීම පවා නිර්මාණශීලීය.


බටනලා වාදනයක් උපයෝගී කරගනිමින් ගායනයක් හා නර්තනයක යෙදෙමින් සියළුම දරුවන්ගෙ අවධානය යොමු කරගනිමින් ඔහු පන්තියට පිවිසෙයි. නමුත් ඉෂාන්ගේ අවධානය ඔහුට යොමු නොවේ. ඒ තරමටම ඔහු මානසිකව පීඩනයකට ලක්ව ඇත. ඉෂාන් ගුරුවරයාගේ අවධානයට යොමු වන්නේ පන්තියෙන් පිටතට දමා තිබියදීය. ඉන් පසුව ඔහු ඉෂාන්ගේ හොඳම මිතුරාගෙන් ඉෂාන්ගේ ගැටළුව පිළිබඳ විමසයි. ඉන් අනතුරුව ඔහු ඉෂාන්ගේ පාසල් පොත් පරීක්ෂා කර බලයි. නිකුබ්, ඉෂාන් ඩිස්ලෙක්ෂියා තත්වයෙන් පෙලෙන බව හඳුනා ගනී. ඉන් නොනැවතෙන ඔහු නිවසට ගොස් ඔහුගේ දෙමාපියන්ට ඉෂාන්ගේ ගැටළුව අවබෝධ කර දීමට උත්සාහ කරයි. ඉෂාන් චිත්‍ර සහ  නිර්මාණශීලී ක්‍රියාකාරකම් වලට දක්ෂතා දක්වන බව නිකුබ් වටහා ගන්නේ අහම්බෙනි.
පාසලට යන නිකුබ් ඉෂාන්ට වෙනම අවධානය යොමු කරමින් ඉගැන්වීමට අවශ්‍ය ඉඩකඩ සලසා ගනී.

ඉෂාන්ගේ දෙමාපියන් හමු වී මුලින්ම පන්තියට පැමිණි දවසේ නිකුබ් දරුවන්ට කියා දෙන්නේ ඩිස්ලෙක්ෂියා තත්වයෙන් පෙලුණ ලෝකයේ සුවිශේෂී පුද්ගලයන් පිළිබඳවයි. මේ නිසා තම තත්වය තමාට පමණක් නොව ලෝකයේ සුවිශේෂී පුද්ගලයන්ට පවා තිබුණ බව දැන ගන්නා ඉෂාන්ට එය සාමාන්‍ය තත්වයක් බව අවබෝධ වේ. සෑම පන්තියක දීම මුහුණ බිමට හරවා ගෙන සිටින ඉෂාන් පාඩමට අවධානය යොමු කරන්නේ එදිනය. ඒ ඔහුට ඇති ගැටළුව පිළිබඳ ගුරුවරයා කතා කළ අවස්ථාවේ දීය. තමාට ද ඉෂාන්ගේ ගැටළුව කුඩා කාලයේ පැවති බව නිකුබ් ඉෂාන්ට පැවසීම නිසා ඔහුට ගුරුවරයා කෙරෙහි විශ්වාසයක් ගොඩ නැගෙයි.

මී ළඟට නිකුබ් ළමයින් යොමු කරන්නේ පරිසරයෙන් අහුලා ගන්නා ඕනෑම දෙයකින් නිර්මාණයක් බිහි කරන්ටය. ගුරුවරයාගේ පැහැදිලි කිරීම් නිසා යම් ආත්ම අභිමානයක් ඇති වන ඉෂාන් විල අවටින් අහුලා ගත් ලට පට වලින් වතුරේ ඉදිරියට ගමන් කළ හැකි බෝට්ටුවක් සකස් කරයි. එය ගුරුවරයාගේ පැසසීමට බඳුන්වෙයි. අනිත් ළමයින් ද ඉෂාන්ගේ අපූර්ව නිර්මාණය අගය කරන්නට පොළඹවයි. මේ අයුරින් නිකුබ් බිඳවැටී තිබූ ඉෂාන්ගේ මනස යථා තත්වයට පත් කරන්නට වෙහෙස ගනී.

තමන්ගේ විවේක වෙලාව ද කැප කරමින් නිකුබ් ඉෂාන්ට ඉගැන්වීමට වෙහෙසෙයි. මුලින්ම ඔහු ඉෂාන්ගේ ගැටළුව ඔහුට වටහා දෙයි. මුලින්ම ඉෂාන් ලවා වැලි පීල්ලක අකුරු ලියවයි. මී ලඟට ඔහු වඩාත් ප්‍රිය කරන දිය සායම් භාවිතා කරමින් අකුරු විවිධ වර්ණයෙන් අඳින්නට උදව් කරයි.ඉලක්කම් අකුරු මුලින්ම විශාල කොටුවක ලියා ක්‍රමයෙන් කුඩා කොටුවල ලියන්නට හුරු කරයි. මී ලඟට ශ්‍රවණ උපකරණ භාවිතා කරමින් කුඩා කුඩා ඡේද කියවන්නට යොමු කරයි. අතේ ඇඟිලි වල සියුම් ස්නායු උත්තේජනය කරන්නට ක්ලේ වලින් විවිධ රූප සකස් කරන්නට ද යොමු කරයි. ඉෂාන් චිත්‍ර විෂයට මහත් සේ ඇළුම් කරන නිසා පෝල් ගොගෑන් වැනි චිත්‍ර ශිල්පීන් පිළිබඳ පොත් ද, කුඩා කුඩා කවි ඡේද කියවන්න යොමු කරයි. ඉන් පසු ඉෂාන් අකුරු පිළිබඳ මනා අවබෝධයෙන් ලියන්නට යොමු කිරීම කරයි. මේ අයුරින් නිකුබ් නම් දක්ෂ නිර්මාණශීලී ගුරුවරයා ඉෂාන්ගේ අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව වර්ධනය කරයි.

තවදුරටත් ඉෂාන්ගේ ආත්ම අභිමානය වර්ධනය කිරීමට නිකුබ් පාසලේ ගුරුවරුන් හා ළමයින් එකතු කරගෙන චිත්‍ර තරඟයක් පැවැත්වීමට කටයුතු කරයි. එදින උදෑසන අවදි වන ඉෂාන් තනිවම ඇඳ පැළඳ ගනී. දැන් ඔහුට කමිසයේ බොත්තම් දැමීමටත් ලේස් ගැටගැසීමටත් තනිවම තම කටයුතු කර ගැනීමටත් හැකියාව ඇත. ඔහු පොකුණ අසලට ගොස් පොකුණේ ස්වභාවය දෙස බොහෝ වෙලා බලා සිටී. චිත්‍ර තරඟය සඳහා ඉෂාන් පැමිණෙන්නේ අවසන් මොහොතේ ය. නිවාඩු කාලයේ නිවසට ගිය පසු තෑගි දුන් දියසායම් පෙට්ටිය ඔතා තිබූ කොල පවා ඔහු ඉවත් කරන්නේ එදිනය. මෙයින් පැහැදිලි වන්නේ ඉෂාන් නේවාසික පාසලට පැමිණි පසු චිත්‍ර ඇඳීම නතර කර තිබූ බවත් යලිත් චිත්‍ර ඇඳීම ආරම්භ කළ බවත්ය. එනම් ඔහු මෙතෙක් සිටි මානසික පීඩාව ඉවත්වීම මෙයින් නිරූපනය වේ.

මෙහිදී නිකුබ් අපූරු දෙයක් කරයි. එනම් ගුරුවරුන්ට චිත්‍ර ඇඳීමට වෙන් කළ ස්ථාන වල අදාල ගුරුවරුන්ගේ රූප උපහාසය මතු වන කාටූන් චිත්‍රයකින් දක්වා තිබීමයි.  මේ නිසා වෙනදා දරුවන්ට දඬුවම් දුන් දරුවන්ගේ නොහැකියාවන්ට උසුළු විසුළු කළ ගුරුවරුන්ට උසුළු විසුළු කරන්නට දරුවන්ට ද අවස්ථාවක් ලබා දීමයි. ගුරුවරුන් මෙයින් කෝප නොගෙන ඔවුන් ද විනෝද වේ.

තම චිත්‍රය ඇඳ අවසන් කරන ඉෂාන් ගුරුවරයා වෙත යන විට ඔහු දකින්නේ ගුරුවරයා විසින් තමන්ව සිතුවමට නගා ඇති ආකාරයයි. එම අවස්ථාව ඉෂාන්ට තම ගුරුවරයා කෙරෙහි වූ ගෞරවයත් ආදරයත් වැඩි කරන සංවේදී මොහොතකි.

චිත්‍ර තරඟයෙන් ජයග්‍රහණය කරන්නේ ඉෂාන්ය. මෙයින් නිකුබ් බොහෙවින් සතුටටපත් වේ.ඔහුට අවශ්‍ය වන්නේත් ඉෂාන්ගේ ආත්ම අභිමානය වර්ධනය කරමින් ඔහු දක්ෂයෙකු බව සමාජයට හෙළි කරන්නයි. නිකුබ්ගේ අරමුණ ඔහු සිතුවාටත් වඩා හොඳින් ඉටුවෙයි. ඉෂාන් පාසලේ වැඩ කටයුතු ද හොඳින් සිදු කරමින් ඉතා වේගවත් ප්‍රගතියක් පෙන්වයි. ගුරුවරයාගේ අදහස් වලට මුලදී විරුද්ධ වූ ඉෂාන්ගේ පියා ද අවසානයේ දී නිකුබ්ට ස්තූතිය පළ කරයි.

මේ කතා පුවත විද්‍යාත්මකවත් හේතුඵල සම්බන්ධතා සහිතවත් නිර්මාණශීලීව සකස් කර ඇත. සියවරක් නැරඹුවද සෑම අවස්ථාවක දීම අළුත් යමක් සිතන්නට අප පොළඹවයි.

අමීර් කාන්ගේ නිර්මාණශීලී වෑයම බොහෙවින් සාර්ථකව ඇත. ඉෂාන් ලෙස රඟපෑම් කරන දර්ශිල්ගේ දක්ෂතාව ද විශිෂ්ට මට්ටමේ පවතී.

තාරේ සමීන් පර් හි ඉෂාන් වැනි දරුවන් අප රටේ සෑම පාසලකම, සෑම පන්තියකම ඇත. ඔවුන් බොහෝ දෙනා ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ නොදැනුවත් කම නිසා දඬුවම් වලට ලක්වීම ද අදක්ෂයින් මෝඩයින් ලෙස හංවඩු ගැසීම ද සිදුවේ. මේ නිසා මෙවන් දරුවන් පාසල් හැර යාම හෝ වසර ගණනක් අධ්‍යාපනය ලැබ අකුරක් හෝ නොදැන පාසලෙන් ඉවත්වීම සිදුවේ. ඉෂාන් පන්තියේ වැඩ නොකල දිනක පාසලෙන් පිටවී තැන ඇවිදියි.එහිදීඉ ඔහු සාමාන්‍ය සමාජයේ විවිධත්වය හදුනා ගනියි.ඔහු ඒ අත්දැකීම් චිත්‍රයට නගයි. නමුත් ඔහු ට අපයෝජන වලට මුහුණ දෙන්නට හෝ වෙනත් අනතුරකට මුහුණ දෙන්නට ඉඩ තිබුණි. වාසනාවකට ඔහුට කිසිදු අනතුරක් සිදුවූයේ නැත. පාසලෙන් පැන යන සෑම දරුවෙක්ම ආරක්ෂිත  නොවේ. ඔවුන්ව අපයෝජනය කරන්නට අපචාර කෙරෙහි පොළඹවා ගන්නට ඇතැම් නරුමයින් බලා සිටී.

අකුරු කියවීමට ලිවීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ අනාගතය අඳුරුය. ඔවුන් තුළ පැවති උපන් හැකියාවන් ද පාසල් අධ්‍යාපනය නිසා සැඟවී යයි. එනිසා සියළුම ගුරුවරුන් විදුහල්පතිවරුන්, දෙමාපියන් ළමයින් සමඟ කටයුතු කරන සියළුම වෘත්තිකයන් ඩිස්ලෙක්ෂියා නම් අක්‍රමතාව පිළිබඳ පිළිබඳ අවබෝධයක් ද ලබා ගෙන “ තාරේ සමීන් පර් “ චිත්‍ර පටය නැරඹිය යුතුය.  අවම වශයෙන් එහි සඳහන් වන උපක්‍රමවත් භාවිතා කරමින් ඩිස්ලෙක්ෂියා තත්වය මගහරවා ගැනීමට උත්සාහ කළ යුතුය.

---------- චාමිකා ජනානි ද සිල්වා BA, Diploma of Counselling & Psychotherapy------------