Saturday, May 12, 2018

යහපත් බුද්ධිමත් දරුවෙකු වෙනුවෙන් කැපවෙමු


දරුවකු පිළිසිඳ ගැනීම ඔබගේ ප්‍රේමය සඵලවීමක් මෙන් ම පවුලක් ලෙස සමාජයේ පිළිගැනීමට ලක්වීමකි. ඒ සිහිනය මල් ඵල ගත් ඔබ දෙපල ඔබේ අනාගත දරුවා පිළිබඳ සුවහසක් ප්‍රාර්ථනා එක් කරමින් සිටිනවා ඇති. ඔබේ කුසට පැමිණි ආදරණීය බිළිඳා නිරෝගී බුද්ධිමත් දරුවකු බවට පත්කරන්නට ඔබ පෙරුම් පුරනවා ඇති.මේ මග පෙන්වීම ඔබේ ආදරණීය දරුවා සංවේදී බුද්ධිමත් දරුවකු බවට පත් කර ගැනීමටයි.



සැබවින්ම යහපත් බුද්ධිමත් සංවේදී දරුවකු ලබා ගැනීම සඳහා ඔබ සූදානම් විය යුත්තේ විවාහ වූ දිනයේ සිටයි. යහපත් දරුවකුගේ මවක හෝ පියකු වීමට ඔබ ද ඔබේ චරිතය සකස් කරගත යුතුයි. නිතර කෝප ගන්නා ස්වභාවය, ගැටළු වලදී හැඟීම් වලට වහල් වී කටයුතු කිරීම ආදිය ඔබ වෙනස් කර ගත යුතුයි. පියා දුම්පානයට, මත් පැන් පානයට ඇබ්බැහි වී සිටිනවා නම් එම පුරුදු ක්‍රමයෙන් අඩු කරගනිමින් මත් පැන් දුම්වැටි වලින් සම්පූර්ණයෙන් නිදහස්වීම වැදගත්. මත්පැන් නිසා ගෙදර සාමයට, සතුටට බාධාවන් ඇති වෙනවා. දුර්වල ආබාධිත දරුවන් ඉපදීමටත් හේතුවක් වෙනවා.

සැමියා හා බිරිඳ වශයෙන් සතුටින් සහ ස්නේහයෙන් එකිනෙකාට ගරු කරමින් යහපත් ලෙස මුදල් උපයමින් ජීවත්වන්නේ නම් එවැනි මා පිය යුවලකට උපදින දරුවා ඉතාම පින්වන්තයි, ඥානවන්තයි, බුද්ධිමත්. ඒ නිසා දරුවන් බලාපොරොත්තු වන යුවල යහපත් දරුවකු ලබන්න “ පේ වීම“  කළ යුතුයි.

දැන් ඔබ මවක පියෙකු වීමට සූදානම්ව සිටින නිසා කුස තුළ වැඩෙන දරුවා සංවේදී යහපත් බුද්ධිමත් දරුවකු කිරීමට බොහෝ දේ කළ හැකියි. ඒ සඳහා ඔබට මුදල් වැය වන්නේ නෑ. එයට අවශ්‍ය වන්නේ ඔබේ කැපවීමයි.

මොළය වැඩෙන දින 1000

දරුවකුගේ මොළය වර්ධනයෙන් 80%ක් පමණ වර්ධනය වන්නේ දරුවා කුසතුළ සිටින කාලය ඇතුළත්ව දින දහසක දී බව සොයා ගෙන තිබෙනවා. මේ අනුව දරුවා කුස තුළ සිටින දින 280 ට අමතරව උපත ලැබීමෙන් පසුව වසර දෙක හමාරක කාලය මීට අයත් වෙනවා. මේ කාලය තුළ දී අපගේ පංචේන්ද්‍රියන් හඳුන්වන ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් උත්තේජනය වන දෑ අප කළ යුතුයි. එවිට කුස තුළ සිටින දරුවාගේ ස්නායු ක්‍රියාකාරීත්වය වර්ධනය වී මොළය හොඳින් වර්ධනය වෙනවා.මව ගර්භනීව සිටිය දී “ ළමා කාමරය සකස් කරන්න යැය් ඔබේ පවුල් සෞඛ්‍ය නිලධාරීතුමිය පවසන්නේ දරුවාගේ මොළය වර්ධනය කිරීම සඳහා. ඔබ ඉපදෙන්නට සිටින දරුවා වෙනුවෙන් සිදු කරන කාර්යන් කුස තුළ සිටින දරුවාට දැනෙනවා.




ගර්භනී මව විසින් අසන ගීත කුස තුළ සිටින දරුවා අසා සිටිනවා. ගර්භයට මාස 05ක් වන විට දරුවාට අවට පරිසරයේ සිදුවන දෑ ඇසෙන්නට පටන් ගන්නවා. එනිසා ඔබ අසන ගීත යහපත් ගීත විය යුතුයි. සරළ සංගීතය සැකසී ඇත්තේ අපගේ හදවත ගැහෙන රිද්මයට අනුවයි. අද බොහෝ දෙනා අසන වේග රිද්ම ගීත නිසා මනසට විඩාවක් දැනෙනවා. කුඩා කාලයේ වේග රිද්ම ගීත අසන දරුවන් ඉක්මණින් කෝප වන කලහකාරී දරුවන් බවට පත්වෙනවා. සරළ ගීත වලට ඇහුම්කන් දෙන දරුවන් සාමකාමී දරුවන් වෙනවා. මෙහි දී ඔබ අසන ගීත අර්ථවත් වීමත් වැදගත් වේ. මව් ගුණ ගීත, පිය ගුණ ගීත, නැලවිලි කවි, බොදු ගීත සහ දේශාභිමානී ගීත ඇසීම තුළින් දරුවාගේ සිත තුළ මව් පියන් කෙරෙහි ගෞරවය, තම රටට ආදරය කිරීම වැනි යහපත් ගුණාංග ඇති වෙනවා. එමෙන් ම දරුවා නිර්මාණශීලී දරුවකු බවට පත් වෙනවා. එලෙස නිර්මාණශීලී, යහපත්, බුද්ධිමත් දරුවකු වෙනුවෙන් මේ සටහන තබන්නේ.



සරළ සුභාවිත ගීතයකට සවන් දෙන විට අපේ සිත ඇල්ෆා අවස්ථාවට පත් වෙනවා. එහි දී මනස මැනවින් ඒකාග්‍ර වෙනවා.මවගේ නැළවිලි ගීත ඇසෙන විට දරුවා සුවසේ නිසා ගන්නේ එලෙස මනස ඒකාග්‍ර වන නිසයි.

ගර්භනී මව විසින් අසන ගීත පමණක් නොවේ නිවසේ සිදු වන කතා බහ, ඇනුම් බැනුම් මෙන්ම මව විසන් නරඹන රූපවාහිනී නාට්‍ය ආදිය කුසේ සිටින බිළිඳා අසා සිටිනවා. මේ නිසා නිවසේ දී ගර්භනී මවට සුවසේ සිටීමට හැකි වාතාවරණයක්, පීඩාකාරී නොවන පරිසරයක් නිවැසියන් විසින් සකස් කර දිය යුතුයි. රූපවාහිනියේ ප්‍රචාරය වන වෛරය පළිගැනීම සහිත කතා නැරඹීමෙන් වැළකිය යුතුයි. රූපවාහිනියේ ප්‍රචාරය වන වෛරය පළිගැනීම සහිත කතා නැරඹීමෙන් වැළකිය යුතුයි. වර්තමානයේ දරුවන් ප්‍රචණ්ඩකාරී වීමට හේතුව ගර්භනී සමයේ මව විසින් නරඹන වෛරය පළිගැනීම සහිත කතා පුවත් සහ නිවසේ පීඩාකාරී ඝෝෂාකාරී පරිසරය බව මනෝ විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා.

ගර්භනී මව විසින් ගන්නා ආහාර ද සෘජුවම දරුවාට බලපාන බව ඔබ දන්නවා. වර්තමානයේ වෙළඳපොලේ තිබෙන ක්ෂණික ආහාර , රස කාරක යෙදූ ආහාර, සිසිල් බීම, කෙටි කෑම ( ෂෝට් ඊස්ට්) ආදිය බෙහොමයක පිළිකා කාරක තිබෙනවා. එමෙන් ම දරුවන් ඒ.ඩී.එච්.ඩී හෙවත් අධි ක්‍රියාශීලී මානසික ඒකාග්‍රතාව අඩු දරුවන් ඉපදීමටත් හේතු වෙනවා. ඒ නිසා කෘත්‍රීම ආහාර නොගෙන ස්වභාවික එළවළු, පළතුරු පමණක් ආහාරයට ගන්න.



දරුවා උපන් පසු වසර දෙකක් වන තුරු මොළය වර්ධනය 80% දක්වා වර්ධනය කරගන්න නම් මුලින් සඳහන් කළ අයුරින් “ ළමා කාමරය සකස් කර ගන්න. දරුවාට ඇසෙන්න දරු නැළවිලි ගීත ගායනා කරන්න. දරුවාට ඇසෙන සේ යහපත් සරළ ගීත වාදනය කරන්න. ඔබට ගයන්නට හැකි නම් ගයන්න.


රූපයේ පෙන්වා දෙන පරිදි අපගේ මොළයේ වම් සහ දකුණු මොළය වශයෙන් බෙදිය හැකියි. එහි දී නිර්මාණශීලීත්වය, රිද්මය, චිත්‍ර ඇඳීම, ගායනය, නර්තනය වැනි සෞන්දර්යාත්මකහැකියාවන් ඇති වන්නේ දකුණු මොළයේ ඇති ස්නායු ක්‍රියාකාරීත්වය වර්ධනය වීමෙන්. සරළ සුභාවිත ගීත ඇසීම, නැලවිලි ගී ගැයීම, ළමුන්ට කතාන්දර කීම මගින් දරුවාගේ දකුණු මොළය වඩාත් හොඳින් උත්තේජනය වනවා.



වම් මොළය මගින් ගණිතමය හැකියාව, තර්කනය,විශ්ලේෂණය වැනි හැකියාවන් වර්දණය කරනවා. මේ සඳහා බටහිර රටවල මව්වරුන් දරුවා කුස තුළ සිටිය දී විවිධ දෑ ඉගෙන ගන්නවා. පොත් කියවීම කරනවා. දරුවකු බුද්ධිමත් වන්නට වම් මොළය හා දකුණු මොළය යන කොටස් දෙකම අවශ්‍ය වෙනවා. එම නිසා වම් හා දකුණු මොළය යන කොටස් දෙකම උත්තේජනය වන්නට අවශ්‍ය දේ කිරීම වැදගත්.



දරුවා ඉපදුණු දිනය වෙනුවෙන් පැලයක් සිටුවන්න. දරුවා වැඩෙද්දී ගස ද වැඩේවි. දරුවා සමගින් ගස ගැනත් ගසේ වර්ධනය ගැනත් ඔහුට තේරෙන පරිදි කියා දෙන්න.


පරිසරයේ සුන්දරත්වය දරුවාට කියා දෙන්න. සමණලයින්, කුරුල්ලන්, විවිධ වර්ණයේ මල් ආදිය දරුවාට පෙන්වන්න. ඉර බැස යන අයුරු, සඳ නැග එන අයුරු දරුවාට පෙන්වන්න. දරුවා නින්දට යන විට කවි සහ කතන්දර කියා දෙන්න


ගර්භනී සමයේ දී සහ දරුවා ඉපදුණු පසු ඉහත සඳහන් කළ කරුණු ක්‍රියාත්මක කළ හොත් බුද්ධිමත් , යහපත් දරුවකු ඔබ දෙපළ අතරින් සමාජයට බිහිවේවි. ඒ සඳහා ඔබ දෙපළට ශක්තිය හා වාසනාව උදාවේවායි පතමු!

චාමිකා ජනානි 
ප්‍රා.ළමා ආරක්ෂක නිලධාරී

No comments:

Post a Comment