පුර හඳත් එක්ක ඇවිත් යන්න
ඉඳහිට හෝ මේ සිදාදියේ
අපෙ ගමේ සුවඳ එකතු කරන් වරෙන් යාළුවේ.........
ඉඳහිට හෝ මේ සිදාදියේ
අපෙ ගමේ සුවඳ එකතු කරන් වරෙන් යාළුවේ.........
රෑ පානේ මුතු බේරෙන
මුතු ගානේ බැත මෝරන
නොනිදා හිනැහෙන කමතක් වාගේ
මැඩුවන් සුවඳත් තුරුළු කරන් වරෙන් යාළුවේ....
මුතු ගානේ බැත මෝරන
නොනිදා හිනැහෙන කමතක් වාගේ
මැඩුවන් සුවඳත් තුරුළු කරන් වරෙන් යාළුවේ....
අරලිය මල් සිල් සුවඳට
නැලවෙන බෝ පත තාලෙට
රෑ නලියන වැව් කණ්ඩිය වාගේ
පන්සලෙන් සාදු හඬත් අරන් වරෙන් යාළුවේ....
නැලවෙන බෝ පත තාලෙට
රෑ නලියන වැව් කණ්ඩිය වාගේ
පන්සලෙන් සාදු හඬත් අරන් වරෙන් යාළුවේ....
ගේය පද - රත්න කේ .ප්‍රේමසිරි
තනුව හා සංගීතය - එච්.එම් ජයවර්ධන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
තනුව හා සංගීතය - එච්.එම් ජයවර්ධන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සඳේ සෞන්දර්ය සැබැවින්ම විඳගත හැක්කේ නගරයේ දී ද ? නැතිනම් ගමේ දී ද මම ඔබෙන්අසන්නෙමි .ගමටත් නගරයටත් වෙනසක් නො දක්වා සඳ පායයි .එහෙත් නගරයේ නගරයේ දුවිල්ලෙන් කර්ණ කඨෝර වූ විවිධ හඬවල් ද සිතත් ගතත් වෙහෙසට පත් කරයි .අවිවේකී දිවා කාලයක් නිමකර නිවසට හෝ නවාතැනට පැමිණෙන අප සොයන්නේ නිදි සුවය යි .නගරයේ විසල් ගොඩනැගිලි වලට ඉහලින් සඳවතිය සුපුරුදු ලෙස හිනැහුනත් ඒ අසිරිය දකින්නට විඳින්නට අවිවේකී නාගරික දිවිය අපට ඉඩ හසර ලබා නොදෙයි නො දෙයි .සඳ එළිය පමණක් නොවේ නාගරික ජීවිතය විසින් ජීවිතයේ තවත් බොහෝ දේ වින්දනය කරන්න ට ඉඩක් ලබා නොදෙයි .වින්දනය කල යුතු දෑ වින්දනය නොකිරීමෙන් අපි ජීවිතය විඳවන්නේ බවට පත්ව තිබේ .නගරයේ ඉපිද නගරයේ ම දිවි ගෙවෙන ඇතැමුන්ට සමන්විත වන්නෙකුට තමන් විඳවන්නෙකු බවට පත්වී ඇති බව නොහැඟෙන්නේ ඔවුන්ට නාගරික පරිසරය සාමාන්‍යකරණය වී ඇති නිසා ය .
ගමේ වෙල් එළියේ වෑ දියේ බඩවැටියේ සුන්දරත්වය නිදහස් වේ වින්දනය කළ පුද්ගලයකුට නගරය ත් එහි ජීවිතයත් දැනෙනුයේ සිරගත ජීවිතයක් ලෙසිනි .එහෙත් ඒ නිසාම නගරයේ හැරදා යන්නට ඔහුට නොහැකි ය .රැකියාවක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් නිසා අකමැත්තෙන් වුවද නගරයේ සිරගත වන්නට ඔහුට සිදුවෙයි .මඳක් හෝ ඉසිඹුවක් ලැබෙන නිමේෂයේදී ඔහු සිත වැව් තාවුල්ලට පන්දිසලට වෙල්වයායට දිව යන්නේ අසුරු සැනිනි .
ගමේ ඉපිද නගරයට සංක්‍රමණය වී නගරයේ සිරගත වූවෙකුට ගමේ මිත්‍රයෙකු හෝ ඥාතියකු හමුවීම ප්‍රහර්ෂය දනවන්නකි .තම මිතුරා “ පුරා හඳක“ අසිරිය ගන්වන්නෙක් බව පද රචකයා රූපණය කරන්නේ ඒ තුළින් සහාදත්වය උතුරා යන නිසාම ය.
නගරයේ කුණු කාණු වලින් නැගෙන දුර්ගන්ධය පහ කරන්නට සුවඳ විලවුන් ගැල්වුවත් අවට පරිසරයට සුවඳ දියර ඉසුවත් පලක් නැත .ස්වල්ප මොහොතකින් කසල වල දුර්ගන්ධය යළිත් මතුවෙයි. ගමේ වෑ දියේ වෙල් එළියේ පන්සලේ සුවඳ කැටි කරගත් සැනසුම සුවය සදන ජීවිතය මොහුට සිහිනයක් පමණි. ගමේ සුවඳ, සහෘදත්වය රැගෙන කිසිවෙකු හෝ පැමිණෙන්නේ නම් කෙතරම් අපූරු ද?
ගීතයේ වාච්‍යාර්ථය මතුපිටින් මෙලෙස විග්‍රහ කළ ද එහි ව්‍යාගාර්ථය තුළ ගැඹුරු අරුතක් ධ්වනිත කරයි. මුදල් මත යැපෙන නාගරිකයන්ගේ ජීවිතය අතිශය කටුක ය. මේ නිසාම තම යහගුණ පවා උකසට තබා මුදලට විකිණෙන්නට නාගරිකයන්ට සිදුව තිබේ. ඔවුන්ගේ මේ සංකීර්ණ දිවි පෙවෙත නිසා ඔවුන් සතු යහපත් සමාජ ආචාර ධර්මයන් ඔවුන් වෙතින් වියැකී ගොසිනි. එහෙත් සරළ ගැමි සමාජය තුළ තවමත් යහගුණදම් ආචාර ධර්ම රැඳී පවතී. ගීතයේ “ පුර හඳ“ තුළින් නිරූපණය වන්නේ අවංක සුහදශීලී , නිර්ව්‍යාජ සමීප සම්බන්ධතා වලින් යුතු ගැමි සමාජයක අනුරුවයි.
කාල් මාර්ක්ස් සිය පරාරෝපන න්‍යායෙන් පෙන්වා දෙන්නේ නාගරික කාර්මික සමාජය තුළ පුද්ගලයා තමා තමාගෙන් ද සමාජයෙන් ද පවුලෙන් ද පරාරෝපණය හෙවත් හුදෙකලාවීමත් යාන්ත්‍රික ඒකාබද්ධ සමාජයක් ගොඩ නැගෙන විට සදාචාර පර්යාව බිඳ වැටී ධර්මතාව පිරිහෙන සමාජයක් ගොඩ නැගෙන බවයි.
ආයාසකර සබඳතාවලින් ගහන සාමූහික බැඳීම් නැති සහ සදාචාර ධර්ම ගිලිහුණු සමාජයක අසීරුවෙන් අසීරුවෙන් පය ගසා සිටින පුද්ගලයෙකුට තම ගැමි මිතුරා “ පුරා හඳක්“ සේ පෙනෙයි. “ ගමේ සුවඳ “ යනු යහගුණ ධර්මයන් ය. ගමේ යහගුණ සහ අව්‍යාජ මිත්‍රත්වයෙන් පුරා හඳ සේ නාගරික මිතුරාගේ අඳුරු ලොව ගැමි මිතුරාගේ පැමිණීමෙන් එළිය වෙයි.
අස්වනු නෙලීමෙන් පසු කමතේ ගොඩ ගැහෙන්නේ ගොවියන්ගේ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයයි. “ රෑ පානේ මුතු බේරෙන - මුතු ගානේ බැත මෝරන “ යන්නෙන් දහඩියත් මහත් වූ කැපවීමත් ඒ වෙහෙසේ ප්‍රතිඵලය ලෙසටම ලැබෙන අස්වැන්නත් පිළිබඳ සඳහන් කරයි. නාගරික මිතුරාට තම ගැමි මිතුරා පෙනෙන්නේ “ නොනිදා හිනැහෙන කමතක් “ ලෙසිනි.කමත තුළ ඇත්තේ සාමුහිකත්වය, සහෘදත්වය හා කැපවීමයි. ගමේ මිතුරා නොනිදා හිනහෙන කමතක් සේම තම මිතුරාට සැනසුම ගෙන එයි. එමෙන්ම බොහෝ කලකින් හමුවන මිතුරන් දෙදෙනාට නොනිදා රැය පහන් කරන්නට තරම් තොරතුරු හුවමාරු කරන්නට ද තිබේ. ඒ තොරතුරු අතර ගමේ වෙලේ කමතේ මැඩුවන් සුවඳ එනම් අව්‍යාජත්වය පිරුණු බොහෝ සුන්දර දෑ තිබෙනු ඇත.
අරලිය මල් සුවඳ කැටිවුණු සිල් සුවඳත් , නැලවෙන බෝ පත් වල සිසිලසත්, සාදු! සාදු! හඬත් සිතට දනවන්නේ ආධ්‍යාත්මික සුවයකි. වෑ කණ්ඩිය රාත්‍රියට නලියන බවක් පද රචනයා පවසයි. වෑ කණ්ඩිය පෝදා රාත්‍රියට නලියන්නේ කෙසේ ද? වෙනදා නිහඬ බව උසුලන වෑ කණ්ඩිය පෝදා රාත්‍රියට පණ ලබයි. සුදෝ සුදු වතින් සැරසුණු ගැහැණුන්, පිරිමින් සහ ළමා ළපටියන්ගේ හඬින් වෑ කණ්ඩිය පිරෙයි. වැවෙන් එතෙර පන්සල වෙත ඇදෙන ජනයාගෙන් සහ ඔවුන්ගේ සෙවණැලි වලින් වෑ කණ්ඩිය නලියයි.එමෙන්ම සඳ එළිය වැටුණු බෝපත් වල සිලි සිලියත් එහි සෙවණැල්ලත් වෑ කණ්ඩියට වැටේ. පෝදා රාත්‍රියට නලියන වෑ කණ්ඩිය ගැමියාගේ සරළ දිවි පෙවෙතත් ලොකෝත්තර සුවය සොයා යන ගමනත් පිළිබිඹු වෙයි.
ගේය පද රචක රත්න කේ. ප්‍රේමසිරිගේ පද සංකල්පනාවට අනුභූතිය වන්නේ අලුත් සහල් මල්ලක් රැගෙන තමා හමුවට පැමිණි සහාෘද ගැමියෙකුගේ හමුවයි. ගේය පද රචනාව තුළ ව්‍යංගාර්ථවත් බස්වහරක් යොදා ගෙන ඇත.පද රචකයා සිය පුද්ගලානුභුතිය ගමේ උපන් නගරයේ සිරගතවන්නට සිදුවුණු මිනිසුන්ගේ පොදු අනුභූතියක් බවට පෙරළා සුගේය පද වැලකට මුසුකරයි. එය ග්‍රාමීය නාගරික බේදයකින් තොරව සියලු සහෘදයන්ගේ හදවත් සංවේදීව ස්පර්ශ කරයි.
කරුණාරත්න දිවුල්ගනේගේ හඬින් නිරුත්සාහයෙන් මතුවන්නේ ගැමි අව්‍යාජත්වය පිරිපුන් හඬකි. එනිසාම මේ ගීතය අප ගමේ සුවඳ වෙත රැගෙන යයි.එච්.එම්.ජයවර්ධන නම් ප්‍රතිභාපූර්ණ සංගීතඥයාගේ තනුවෙන් හා සංගීතයෙන් ගීතය වඩාත් රසවත් වෙයි.
------------------------------------------------------------------------------------------------------------------------------------
මේ ගීත රසාස්වාද ලිපි විද්වතුන් වෙනුවෙන් නොවේ, ගීතය රසවිඳින්ට මූලික අවබෝධයක් ලබා නොමැති හෝ ගීතයක් රසවිඳින්ට අවධානය නොකරන අයට ගීතය රසය විඳින්නට මඟ පෙන්වීමක් පමණි.--- චාමිකා ජනානි----