Sunday, May 17, 2015

සිඳෙන බිඳෙන යළි පිබිදෙන අපේ ජීවන ගමන

------සිඳෙන බිඳෙන යළි පිබිදෙන අපේ ජීවන ගමන------
අප මෙලොව උපදින්නේකලින් තීරණය කරගත් පරිදි නොවේ.මරණය ද එලෙසම ය. උපත හා මරණය අතර දෝලනය වන ජීවන ගමනේදී අපට ලාභ , අලාභ,යස , අයස, නින්දා, ප්‍රශංසා අදී අටලෝ දහමට මුහුණ දෙන්නට අපට සිදුවේ. සැප සතුට අසල අපරිමිත ප්‍රීතියෙන් සිනා සෙන්නටත් දුකේදී හඬා වැටෙන්නටත් අපි පුරුදුව සිටිමු.එය මිනිස් ස්වභාවයයි.ජීවත් වන බව අපට දැනෙන්නේ ද මේ ජීවතයේ විවිධත්ව නිසා ය.
ගත වූ ජීවිතයේදී අපට කුසගින්නේ සිටින්නට සිදුවන්නට ඇත. ඇතැම් විට අද දවස ගෙවී ගියේද කුස ගින්නෙන් සහ දුක් පීඩා රැසක් මැද්දේ වන්නට පුළුවන. යකඩය මුවහත් වන්නේ තැලෙන තරමට ය.එලෙසින් අප ශක්තිමත් වන්නේ අර්බුද වලට මුහුණ දෙන විට ය.
කලුගලක් බුදුරුවක් වී පිදුම් ලබන්නේ කටුවෙන් මිටියෙන් දෙන පහර ඉවසා සිටීම නිසා ය. දැව කඳක් බිතු කැටයමක් වී ඇගයුම් ලබන්නේ ද එලෙසිනි.
ශාන්ත ජයලත් තිසේරා රචනා කළ අමරසිරි පීරිස් ගයන මේ ගීතයෙන් කියවෙන්නේත් සිඳෙන බිඳෙන යළි සැනසෙන හදවතක අසිරියයි.
“ කලා වැව හිඳෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ සිත බිඳෙනවා - ආයෙමත් හැදෙනව
ජීවිතයේ හෙට දවස සුන්දර කර ගැනීමට නම් අද දවසට ධෛර්යෙන් මුහුණ දිය යුතුය.රක්න ශ්‍රී “ “වස්සානය “ නම් කාව්‍ය යෙහි මෙලෙස කියයි.
“ දුෂ්කරය කියා හැර යායුතු ද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මල්ක වනු පිණිස
ඇතැම් විට මුදල් සමාජ තත්වය යන අංශයන්ගෙන් අප පහතට ම වැටී සිටිනවා වන්නට පුළුවන. නැතිනම් අලාභ, අයස,නින්දා ආදිය නිසා දුක් පීඩා වලට මුහුණ දෙමින් සිටිනවා විය හැක. පොව කිසිදු දෙයක් සදාකාලික නැත. එනිසා ප්‍රශ්න බාධක සැමදා අප ළග රැඳී පවතින්නේ නැත. “ කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා“ යනුවෙන් ජනවහරේ කියමනක් අප අසා ඇත. එලෙසින් දුකෙහි ප්‍රතිඵලය සුමිහිරි ඵලයක් බවට පත් විය හැකිය.
අප දුෂ්කරතා විඳින්නේ යහපත් අරමුණක් උදෙසා නම් , අප අයසට නින්දාවට පත් වන්නේ නොකළ වරදකට නම් නිසැකවම සාධාරණය ඉටුවී සොම්නස අප වෙක ළඟා වේ. අවාසනාවේ අන්තයට පැමිණි විට වාසනාව ආරම්භ වන බව ජපන් සෙන් කතාවක සඳහන් වේ.
රත්න ශ්‍රී පවසන ලෙසම දුෂ්කර යැයි කියා අප ජීවිතය හැර යා යුතු නොවේ. හෙට දිනයේ මලක්වී සුවඳ දසත පතුරුවන්නට නම් අද දවසේ විඳින්නට සිදුවන දුක් කරදර වලින් පන්නරය ලබා අදිටනින් නොනැවතී ඉදිරියට යා යුතු වේ. අප ජීවිතය විඳවිය යුතු නැත. අප කළ යුත්තේ ජීවිතය විඳීමයි. සතුටෙහි මෙන්ම දුකෙහි වින්දනාත්මක බව ගීත හා කනි තුළ අන්තර්ගත වී තිබේ. අපට ද අපේ දුක් දොම්නස් වින්දනාත්මක ගීතයක් කවියක් බවට පත් කරන්නට හැකිය.
රත්න ශ්‍රී “ සමුගැනීම“ නම් කාව්‍ය තුළ මෙලෙස සඳහන් කරයි
ආ ගමන හරි දුෂ්කරයි
අප විටෙක ඇද වැටුණා තමයි
එහෙත් නතරව එතැන
වැළපිය යුතු නොවෙයි
අප යායුතුයි
දුකක් වේ්දනාවක් දැනුණ විට හඬා වැළපුණත් එහිම ඇලී ගැලී සිටීමෙන් දියුණුව කරා යාමට නොහැකි වේ. කඳුළු වලට ගලා යන්නට ඉඩ දිය යුතුය. එවිට හදවතේ පීඩාවන් සැහැල්ලු කර ගැනීමට හැකිය. සිත සැහැල්ලු කර ගත් පසු වැටුණාටත් වඩා දෙගුණයක ශක්තියෙන් නැගී සිටීමට හැකියාව ලැබේ.
රත්න ශ්‍රී සමුගැනීම කාව්‍ය අවසන් කරන අයුරු අපූරුය.
“ හෙට පිපෙන මල් අද රෑම
කට කොණින් හිනැහෙනවා පෙනෙයි
ඉවසන්න ඒවා පිපෙයි
දත් පෙනෙන්නේ තාමත් ටිකයි,
දුකක් කඳුලක් වුව ද එය විඳින මොහොතේ විශාල වේදනාවක් ගෙන දුන්න ද පසු කාලයක දී දුක දිනා ජය ගත් පසු ඒ දුක අතීතයේ සොඳුරු වින්දනයක් ලෙසට දැනෙයි. අප කළ යුත්තේ ජීවිතයට ගලා යාමට ඉඩ දීමයි.
---------- චාමිකා ජනානි ද සිල්වා----------------

Friday, May 8, 2015

නිහැඬියාවේ මිහිර

නිහැඬියාවේ මිහිර

ඔබට කෙතරම් කාලයක් නිශ්ශබ්දව සිටිය හැකි ද? උත්සාහ කර බලන්න. මිනිසාට නෙත් 2ක් හිමිව ඇත්තේ හොඳින් බලන්නට ය. දෙසවන් ඇත්තේ හොඳින් අසන්නට ය. අපට එක කටක් ඇත්තේඅඩුවෙන් කතා බහ කර හොඳින් ලොව බලන්නටත් හොඳින් සවන් දීමටත් ය. එහෙත් අප කරන්නේ ඊට ප්‍රති විරුද්ධ ක්‍රියාවයි. කට ඉස්සර කර ගැනීම නිසා ඇතැම් විට අපට පාඩු සිදු වේ. “මාළුවා නහින්නේ කට නිසා“ යැයි කියන්නට එවිට අප පුරුදුව සිටිමු. එකිනෙකා අතර සන්නිවේදනට පවත්වා ගැනීමට කතා කිරීම අවශ්‍ය නමුත් අන් අයගේ මත වලට ඇහුම් කන් දීමට නම්අප නිශ්ශබ්ද විය යුතුය. එමෙන්ම අපට  අවට ඇති බොහෝ දෑ ඉගෙන ගැනීමට ඇසීමට , දැකීමට , බැලීමට මඳක් නිහඬ වී පරීක්ෂා කාරී විය යුතුය. එමෙන්ම නිහඬ බව යනු අප කුඩා කල සිටම ප්‍රගුණ කර ගත යුත්තකි. 

ඇතැම් විට නිහඬතාවයේ ගැඹුරටම පිවිසුණ විට හිස් බවක් දැනෙයි. ජී.බී. සේනානායක ගේ “නිශ්බ්දතාවය“ නැමැති නිසඳැස් පද්‍ය ඔබ කියවා ඇත. තරුණයෙක් තරුණියක් හා ගං ඉවුරක හිඳ ගෙන සිටියි.තරුණයා පුල පුලා බලා සිටිනනේ තරුණියගෙන් පැනයක් අසන්නට ය.


ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස බැලූ මම
කිසිවක් ඇසීමට
යළිත් සිතීමි
නිශ්ශබ්දතාවය දැඩි විය
පෙදෙස වසා ගෙන පැතිරුණු
නිහඬ බවින් මිරිකුණු මම
ඇගේ
රන් වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කර බා ගතිමි.........

නිහඬ බව බිඳ ඔහු කතා කරන්නට සූදානම් වන හැම විටම පරිසරය කැළඹෙයි. සුළු වශයෙන් වන කැළඹීම් නැවතී යළි පරිසරය නිශ්බ්දතාවෙහි ගිලෙයි. අවසන නිශ්ශබ්තාවය විසින් ඔහුගේ මුව ගොළු කරයි.

අමනාපව සිටින ළබැඳි මිතුරු මිතුරියන් දෙපළකට මෙන්ම සැමියෙකුට හා බිරිඳකට ද මේ නිහැඬියාව වේදනාවකි. ඇතැම් විට කතා කිරීම නිසා තව තවත් සිත පෑරෙන නිසා නිහඬව සිටින්නට අපට සිදු වේ. නිහඬතාවය තුළ කියා නිම කළ නොහැකි තරම් බොහෝ දේ ගැබ් වී ඇත. සුනිල් ආරියරත්නගේ පදවැලකට ජීවය සපයමින් නන්දා මාලිනිය මෙලෙස ගයන්නේ  එවන් නිහැඬියාවක් පිළිබඳව ය.
https://www.youtube.com/watch?v=n-ZQDzvSoaE
“කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතතා නැතිව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හන්දා
සුළඟට සියුම් දාහන් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හන්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

කතා කිරීමේ නිදහසට තහංචි පැනවුණ විට ද “ මුනි වත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා“ යැයි පවසන්නට සිදු වේ.

එනමුත් නිශ්ශබිදතාව තුළ ද අපූරු මිහිරියාවක් ඇත.සුමියුරු ගීතයකට සවන් දෙන්නට නම් අප නිහඬවිය යුතුය.එහි සැබෑ රසය හොඳන් වින්දනය කළ හැක්කේ නිහඬව හොඳින් අසා සිටීමෙනි.චිත්‍රපට නාට්‍ය මෙන්ම චිත්‍ර, මූර්ති ආදී අනෙකුත් කලාවන්හි රසය අපට වින්දනය කළ හැක්කේ නිහඬව ඒවා හි සියුම් රස හදවතින්ම වින්දනය කිරීමෙනි.

ගලන දොළක, සියොතුන්ගේ ස්වරයට නිහඬව සවන් යොමු කරන්න.සොබා දහමේ ආන්නදනීය ස්වරය හා මුසු වන්නට නිහඩව සිටින්න.

නිහැඬයාව තුළින් තම ශ්‍රේෂ්ඨ ජීවිතය යළි පණ ගන්වා ගත් පුද්ගලයෙකි මහත්මා ගාන්ධීතුමන්. එතුමා සෑම සිකුරාදා දිනයක්ම නිශ්ශබ්දව ගත කළේ ය. එදිනට අමුත්තන් පිළිගැනීම නැවැත්වී ය. නිහඬ බවින් ගත කළ සිකුරාදා දිනය සිය මනස සුවපත් කර ගැනීමටත් නැවුම් බවින් මනස පුරවා ගැනීමටත් එතුමාට හැකි විය.

නිහඬ බව තුළින් ජීවිතය නැවුම් බවින් පුරවා ගන්නට උත්සාහ කරමු. සෑම දිනකම පැයක් හෝ පැය භාගයක් නිහඬබවේ අපූර්වත්වය විඳන්නට වෙන් කර ගන්න. මේ පැයේ දී හෝ පැය භාගයේදී අපේ සිතේ පවත්නා දුක්ඛ දෝමනස්සයන් ඉවත හොළීම කළ හැකි ය. විශ්වය සමග ගනුදෙණු කිරීමටත් තම සුපිරි මනසට සවන් දීමටත් මේ කාලය යොදා ගත හැකිය.

මේ මොහොතේ අපේ සිතට ගලා එන නැවුම් සිතුවිලි කවියකට ගීතයකට මුසු කරමු. මේතුළින් පෙර නොවූ විරූ අපූරු නිර්මාණ අප අතින් නිර්මාණ වේවි.ලොවසිසූ ශ්‍රේෂ්ඨ චින්තකයින් දාර්ශනිකයින් ලේඛකයින් ආගමික ශාස්තෘෘන් මේ නිහඬ බවේ මහා ඵලය ලැබූ අයයි.

නිහැඬියාව වේදනාවක් තනිකමක් බවට පත් කර නොගෙන එහි මිහිරි බව තුළින් ජීවිතය අර්ථවත් කර ගනිමු.


----- චාමිකා ජනානි----------




Thursday, May 7, 2015

වියළි අතු ඉති පරඬලා පත් ඉතිරි නොකොටම බිම හෙලා පිණි කඳුළු බිඳු සමග මුසු කළ සාරයෙන් යළි සැරසුණා.... රළු පරළු බිම නැගී හිරු දෙස බලා මුව මදහස සලා හරිත අතු ඉති විදා සතොසින් මලින් පුරවා හිනැහුණා...... රිදුණු හදවත විඩා නිවමින් තුරු සෙවණෙ හිඳ සැනසිලා රිදුම් අතරින් සිනා කිරණක් වසන්තය වෙත යා කළා.........

--චාමිකා ජනානි--