Sunday, May 14, 2017

--වෙසක් කූඩු --


දිනක් මම අපේ නැන්දා කෙනෙකුගේ නිවසේ නතර වුණා.නැන්දගේ එකම පුතා 9 වසරේ ඉගෙන ගනිමින් සිටියෙ. මල්ලිට වෙසක් කූඩුවක් ගේන්න කිව්වලු ඉස්කෝලෙන් යැයි නැන්දා කීවා.අනේ දුවේ මල්ලිට වෙසක් කුඩුවක් හදලා දෙන්නකෝ.
මේ වෙසක් කූඩුව හදලා දෙනවකෝ. ඒ අපේ මල්ලි.
අනේ අපොයි! අවු 14ක් වෙච්ච කොල්ලෙකුට වෙසක් කූඩුවක් හදන්න බැරි නම් වැඩක් නෑනේ.ලැජ්ජාවෙ බෑ.
වෙසක් කූඩු හදලා සල්ලි හම්බ කරන්න ද? ඔය කූඩුව හදලා දෙනවකෝ කියවන්නෙ නැතිව.
ලැජ්ජයිනේ කොල්ලෙක් වෙලා වෙසක් කූඩුවක් , සරුංගලයක් හදාගන්න බැරි නම්.කවද හරි ඔයා තාත්තා කෙනෙක් වෙලා පුතා කිව්වොත් , තාත්තෙ, මට වෙසක් කූඩුවක් හදලා දෙන්න කියලා, ඔයාට කියන්න වෙන්නෙ දන්නෙ නෑ කියලා. ළමයා කියයි අයියෝ, අපේ තාත්තා වෙසක් කූඩුවක් හදන්න දන්නෙ නැත්නම් වැඩක් නෑ කියලා.
අනේ! නිකං ඉන්නවකෝ. මම කඩෙන් වෙසක් කූඩුවක් ගෙනත් දෙනවනේ එතකොට.
හදන්න දන්නෙ නැත්නම් බලා ගන්න හදන විධියවත්, මම කූඩුවට ඕනකරන බට පතුරු ටික සකස් කළා.
මේ, අක්කෙ, ඔයා ඕක හදලා මට කතා කරනවා මං යනවා.
කොහෙද යන්නෙ ?
මට කම්මැලියි! ගේම් එකක් ගහන්න යනවා.
වෙසක් කූඩුව සාදා නිම කරන්නට සූදානම් කර තිබිය දී නැන්දා පසු දින ප්ලාස්ටික් වෙසක් කූඩුවක් ගෙනත් තිබුණ අතර ඇය විසින්ම එය අලවා කූඩුව මල්ලිට ලබා දුන්නා.
-------------------------------------------------------------------
ඇත්ත. වෙසක් කූඩුවක් සරුංගලයක් හදන්න ඉගෙන ගත්තට ඒකෙන් මුදල් හම්බකරන්න බැරි වේවි. ඒත් වෙසක් කූඩු, සරුංගල් හදලා මුදල් උපයා ගන්න අයත් ඉන්නවා. මහන්සිවෙලා ඉගෙන ගෙන අන්තිමට වෙසක් කූඩු, සරුංගල් විකුණන කෙනෙක්ගෙ තත්වයට තමන් වැටෙන් නෑ කියලා තමයි මල්ලි කිව්ව දේ අදහස.
මේ ඉගෙන ගන්න කිසි දෙයක් අපතෙ යන්නෙ නෑ. අපේ මාමා කෙනෙකුට එයාගෙ විධායක ශ්‍රේණියෙ රැකියාව නැති වුණා වැරැද්දකට අහුවෙලා. මාමාට ලස්සනට චිත්‍ර අ‍ඳින්න පුළුවන්. එයා සිමෙන්ති කොල වලින් වෙස් මුණු හදලා වෙසක් එකට පිට කොටුවෙ විකුණුවා.එ් නිර්මාණශීලීත්වය නොසිතූ විධියට මාමාට පිහිට වුණා.
වෙසක් කූඩුවක්, සරුංගලයක් හදන්න ඉගෙන ගන්න එකේ මූල්‍ය වටිනාකම තමා දැන් මිනිස්සු හොයන්නේ. සල්ලි හම්බ කරන්න බැරි දෙයක් ඉගෙන ගන්න වටින්නෙ නෑ කියලා හිතන්නේ.
ඒත් ආදරණීය දෙමව්පියනි, හිතන්න එහි තිබෙන අනෙක් වටිනාකම් ගැන. කූඩුවක් හදන්න උණ පඳුරක් කපන්න යන විට දරුවට උණ පඳුරේ විශේෂත්වය ගැන කියා දෙන්න පුළුවන්. උණ පඳුර කපා ගෙන ඒවා සුද්ද කරලා, කෝටු ටික සකස් කරගන්න ආකාරය, ඒවාගෙන් විවිධ හැඩයෙ කූඩු සකස් කිරීම යන මේ සියල්ලම කලාවක්. හසුරු කුසලතා වලට මෙවැනි දේ අයිති වෙනවා. ඒ වගේම වෙසක් කූඩුවක් අවසාන නිමාවක් කරා යන තෙක් සකස් කිරීමට හොඳ ඉවසීමක් තියෙන්න ඕන. කොම්පියුටර් ගේම් එකකින් ඔය කියන නිර්මාණශීලීත්වය වගේම ඉවසීම පුරුදු වෙන්නෙ නෑ. හැම දේකම මූල්‍ය වටිනාකම හොයන්නෙ නැතිව දරුවා නිර්මාණශීලී සංවේදී අයෙක් බවට පත් කරන්නට මෙවැනි දේ කියා දෙන්න. සොබා දහමට සමීප කරවන්න.
ඔබත් පහසුවට ප්ලාස්ටික වෙසක් කූඩුවක් හරි කඩේ සාදා නිමකළ වෙසක් කූඩුවක් නම් හැදුවේ, පොසොන් පෝයටවත් දරුවා එක්ක වෙසක් කූඩුවක් හදන්න. උණ බට හොයා ගන්න බැරි නම් අඩුම ගානේ කඩෙන් උණ කූරු ටිකක් අරන් කූඩවක් නිර්මාණය කරන හැටි දරුවට පෙන්වන්න.
වම් මොළය විතරක් නෙමේ දකුණු මොළය වර්ධනය කරගන්න උත්සාහ කරන්න.ඒ සඳහ නිර්මාණශීලීත්වය අත්‍යවශ්‍යයි. දරුවා නිර්මාණශීලී සංවේදී අයෙක් බවට පත් කිරීම ඔබේ යුතුකමක්.

No comments:

Post a Comment