නිහැඬියාවේ මිහිර
ඔබට කෙතරම් කාලයක් නිශ්ශබ්දව සිටිය හැකි ද? උත්සාහ කර බලන්න. මිනිසාට නෙත් 2ක් හිමිව ඇත්තේ හොඳින් බලන්නට ය. දෙසවන් ඇත්තේ හොඳින් අසන්නට ය. අපට එක කටක් ඇත්තේඅඩුවෙන් කතා බහ කර හොඳින් ලොව බලන්නටත් හොඳින් සවන් දීමටත් ය. එහෙත් අප කරන්නේ ඊට ප්‍රති විරුද්ධ ක්‍රියාවයි. කට ඉස්සර කර ගැනීම නිසා ඇතැම් විට අපට පාඩු සිදු වේ. “මාළුවා නහින්නේ කට නිසා“ යැයි කියන්නට එවිට අප පුරුදුව සිටිමු. එකිනෙකා අතර සන්නිවේදනට පවත්වා ගැනීමට කතා කිරීම අවශ්‍ය නමුත් අන් අයගේ මත වලට ඇහුම් කන් දීමට නම්අප නිශ්ශබ්ද විය යුතුය. එමෙන්ම අපට අවට ඇති බොහෝ දෑ ඉගෙන ගැනීමට ඇසීමට , දැකීමට , බැලීමට මඳක් නිහඬ වී පරීක්ෂා කාරී විය යුතුය. එමෙන්ම නිහඬ බව යනු අප කුඩා කල සිටම ප්‍රගුණ කර ගත යුත්තකි.
ඇතැම් විට නිහඬතාවයේ ගැඹුරටම පිවිසුණ විට හිස් බවක් දැනෙයි. ජී.බී. සේනානායක ගේ “නිශ්බ්දතාවය“ නැමැති නිසඳැස් පද්‍ය ඔබ කියවා ඇත. තරුණයෙක් තරුණියක් හා ගං ඉවුරක හිඳ ගෙන සිටියි.තරුණයා පුල පුලා බලා සිටිනනේ තරුණියගෙන් පැනයක් අසන්නට ය.
ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස බැලූ මම
කිසිවක් ඇසීමට
යළිත් සිතීමි
නිශ්ශබ්දතාවය දැඩි විය
පෙදෙස වසා ගෙන පැතිරුණු
නිහඬ බවින් මිරිකුණු මම
ඇගේ
රන් වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කර බා ගතිමි.........
නිහඬ බව බිඳ ඔහු කතා කරන්නට සූදානම් වන හැම විටම පරිසරය කැළඹෙයි. සුළු වශයෙන් වන කැළඹීම් නැවතී යළි පරිසරය නිශ්බ්දතාවෙහි ගිලෙයි. අවසන නිශ්ශබ්තාවය විසින් ඔහුගේ මුව ගොළු කරයි.
අමනාපව සිටින ළබැඳි මිතුරු මිතුරියන් දෙපළකට මෙන්ම සැමියෙකුට හා බිරිඳකට ද මේ නිහැඬියාව වේදනාවකි. ඇතැම් විට කතා කිරීම නිසා තව තවත් සිත පෑරෙන නිසා නිහඬව සිටින්නට අපට සිදු වේ. නිහඬතාවය තුළ කියා නිම කළ නොහැකි තරම් බොහෝ දේ ගැබ් වී ඇත. සුනිල් ආරියරත්නගේ පදවැලකට ජීවය සපයමින් නන්දා මාලිනිය මෙලෙස ගයන්නේ එවන් නිහැඬියාවක් පිළිබඳව ය.
https://www.youtube.com/watch?v=n-ZQDzvSoaE
“කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතතා නැතිව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
ගහ කොළ වලට දාහක් ඇස් ඇති හන්දා
සුළඟට සියුම් දාහන් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හන්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
කතා කිරීමේ නිදහසට තහංචි පැනවුණ විට ද “ මුනි වත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා“ යැයි පවසන්නට සිදු වේ.
එනමුත් නිශ්ශබිදතාව තුළ ද අපූරු මිහිරියාවක් ඇත.සුමියුරු ගීතයකට සවන් දෙන්නට නම් අප නිහඬවිය යුතුය.එහි සැබෑ රසය හොඳන් වින්දනය කළ හැක්කේ නිහඬව හොඳින් අසා සිටීමෙනි.චිත්‍රපට නාට්‍ය මෙන්ම චිත්‍ර, මූර්ති ආදී අනෙකුත් කලාවන්හි රසය අපට වින්දනය කළ හැක්කේ නිහඬව ඒවා හි සියුම් රස හදවතින්ම වින්දනය කිරීමෙනි.
ගලන දොළක, සියොතුන්ගේ ස්වරයට නිහඬව සවන් යොමු කරන්න.සොබා දහමේ ආන්නදනීය ස්වරය හා මුසු වන්නට නිහඩව සිටින්න.
නිහැඬයාව තුළින් තම ශ්‍රේෂ්ඨ ජීවිතය යළි පණ ගන්වා ගත් පුද්ගලයෙකි මහත්මා ගාන්ධීතුමන්. එතුමා සෑම සිකුරාදා දිනයක්ම නිශ්ශබ්දව ගත කළේ ය. එදිනට අමුත්තන් පිළිගැනීම නැවැත්වී ය. නිහඬ බවින් ගත කළ සිකුරාදා දිනය සිය මනස සුවපත් කර ගැනීමටත් නැවුම් බවින් මනස පුරවා ගැනීමටත් එතුමාට හැකි විය.
නිහඬ බව තුළින් ජීවිතය නැවුම් බවින් පුරවා ගන්නට උත්සාහ කරමු. සෑම දිනකම පැයක් හෝ පැය භාගයක් නිහඬබවේ අපූර්වත්වය විඳන්නට වෙන් කර ගන්න. මේ පැයේ දී හෝ පැය භාගයේදී අපේ සිතේ පවත්නා දුක්ඛ දෝමනස්සයන් ඉවත හොළීම කළ හැකි ය. විශ්වය සමග ගනුදෙණු කිරීමටත් තම සුපිරි මනසට සවන් දීමටත් මේ කාලය යොදා ගත හැකිය.
මේ මොහොතේ අපේ සිතට ගලා එන නැවුම් සිතුවිලි කවියකට ගීතයකට මුසු කරමු. මේතුළින් පෙර නොවූ විරූ අපූරු නිර්මාණ අප අතින් නිර්මාණ වේවි.ලොවසිසූ ශ්‍රේෂ්ඨ චින්තකයින් දාර්ශනිකයින් ලේඛකයින් ආගමික ශාස්තෘෘන් මේ නිහඬ බවේ මහා ඵලය ලැබූ අයයි.
නිහැඬියාව වේදනාවක් තනිකමක් බවට පත් කර නොගෙන එහි මිහිරි බව තුළින් ජීවිතය අර්ථවත් කර ගනිමු.
----- චාමිකා ජනානි----------
දෙනෝදාහක් අතරෙ උනත් ජනාකීර්ණ නගරෙක උනත් නිහඬ බව විඳින්න පුළුවන් කෙනා වීරයෙක්. කලබලකාරීබවට සාප කරනවට වඩා පරිකල්පනයෙන් හිත එකඟ කරගැනීම හරිම වැදගත්. එහෙම කරන කෙනා නිර්මාණ කරුවෙක් උනොත් ලෝකෙට රසවිඳින්න දේවල් ගොඩක් බිහි වෙයි
ReplyDeleteඔව්. නිශ්ශබ්දතාවේ මිහිරි බව තුළින් බොහෝ සොඳුරු නිර්මාණ බිහි කරන්න පුළුවන්.
Delete