Sunday, May 17, 2015

සිඳෙන බිඳෙන යළි පිබිදෙන අපේ ජීවන ගමන

------සිඳෙන බිඳෙන යළි පිබිදෙන අපේ ජීවන ගමන------
අප මෙලොව උපදින්නේකලින් තීරණය කරගත් පරිදි නොවේ.මරණය ද එලෙසම ය. උපත හා මරණය අතර දෝලනය වන ජීවන ගමනේදී අපට ලාභ , අලාභ,යස , අයස, නින්දා, ප්‍රශංසා අදී අටලෝ දහමට මුහුණ දෙන්නට අපට සිදුවේ. සැප සතුට අසල අපරිමිත ප්‍රීතියෙන් සිනා සෙන්නටත් දුකේදී හඬා වැටෙන්නටත් අපි පුරුදුව සිටිමු.එය මිනිස් ස්වභාවයයි.ජීවත් වන බව අපට දැනෙන්නේ ද මේ ජීවතයේ විවිධත්ව නිසා ය.
ගත වූ ජීවිතයේදී අපට කුසගින්නේ සිටින්නට සිදුවන්නට ඇත. ඇතැම් විට අද දවස ගෙවී ගියේද කුස ගින්නෙන් සහ දුක් පීඩා රැසක් මැද්දේ වන්නට පුළුවන. යකඩය මුවහත් වන්නේ තැලෙන තරමට ය.එලෙසින් අප ශක්තිමත් වන්නේ අර්බුද වලට මුහුණ දෙන විට ය.
කලුගලක් බුදුරුවක් වී පිදුම් ලබන්නේ කටුවෙන් මිටියෙන් දෙන පහර ඉවසා සිටීම නිසා ය. දැව කඳක් බිතු කැටයමක් වී ඇගයුම් ලබන්නේ ද එලෙසිනි.
ශාන්ත ජයලත් තිසේරා රචනා කළ අමරසිරි පීරිස් ගයන මේ ගීතයෙන් කියවෙන්නේත් සිඳෙන බිඳෙන යළි සැනසෙන හදවතක අසිරියයි.
“ කලා වැව හිඳෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ සිත බිඳෙනවා - ආයෙමත් හැදෙනව
ජීවිතයේ හෙට දවස සුන්දර කර ගැනීමට නම් අද දවසට ධෛර්යෙන් මුහුණ දිය යුතුය.රක්න ශ්‍රී “ “වස්සානය “ නම් කාව්‍ය යෙහි මෙලෙස කියයි.
“ දුෂ්කරය කියා හැර යායුතු ද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මල්ක වනු පිණිස
ඇතැම් විට මුදල් සමාජ තත්වය යන අංශයන්ගෙන් අප පහතට ම වැටී සිටිනවා වන්නට පුළුවන. නැතිනම් අලාභ, අයස,නින්දා ආදිය නිසා දුක් පීඩා වලට මුහුණ දෙමින් සිටිනවා විය හැක. පොව කිසිදු දෙයක් සදාකාලික නැත. එනිසා ප්‍රශ්න බාධක සැමදා අප ළග රැඳී පවතින්නේ නැත. “ කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා“ යනුවෙන් ජනවහරේ කියමනක් අප අසා ඇත. එලෙසින් දුකෙහි ප්‍රතිඵලය සුමිහිරි ඵලයක් බවට පත් විය හැකිය.
අප දුෂ්කරතා විඳින්නේ යහපත් අරමුණක් උදෙසා නම් , අප අයසට නින්දාවට පත් වන්නේ නොකළ වරදකට නම් නිසැකවම සාධාරණය ඉටුවී සොම්නස අප වෙක ළඟා වේ. අවාසනාවේ අන්තයට පැමිණි විට වාසනාව ආරම්භ වන බව ජපන් සෙන් කතාවක සඳහන් වේ.
රත්න ශ්‍රී පවසන ලෙසම දුෂ්කර යැයි කියා අප ජීවිතය හැර යා යුතු නොවේ. හෙට දිනයේ මලක්වී සුවඳ දසත පතුරුවන්නට නම් අද දවසේ විඳින්නට සිදුවන දුක් කරදර වලින් පන්නරය ලබා අදිටනින් නොනැවතී ඉදිරියට යා යුතු වේ. අප ජීවිතය විඳවිය යුතු නැත. අප කළ යුත්තේ ජීවිතය විඳීමයි. සතුටෙහි මෙන්ම දුකෙහි වින්දනාත්මක බව ගීත හා කනි තුළ අන්තර්ගත වී තිබේ. අපට ද අපේ දුක් දොම්නස් වින්දනාත්මක ගීතයක් කවියක් බවට පත් කරන්නට හැකිය.
රත්න ශ්‍රී “ සමුගැනීම“ නම් කාව්‍ය තුළ මෙලෙස සඳහන් කරයි
ආ ගමන හරි දුෂ්කරයි
අප විටෙක ඇද වැටුණා තමයි
එහෙත් නතරව එතැන
වැළපිය යුතු නොවෙයි
අප යායුතුයි
දුකක් වේ්දනාවක් දැනුණ විට හඬා වැළපුණත් එහිම ඇලී ගැලී සිටීමෙන් දියුණුව කරා යාමට නොහැකි වේ. කඳුළු වලට ගලා යන්නට ඉඩ දිය යුතුය. එවිට හදවතේ පීඩාවන් සැහැල්ලු කර ගැනීමට හැකිය. සිත සැහැල්ලු කර ගත් පසු වැටුණාටත් වඩා දෙගුණයක ශක්තියෙන් නැගී සිටීමට හැකියාව ලැබේ.
රත්න ශ්‍රී සමුගැනීම කාව්‍ය අවසන් කරන අයුරු අපූරුය.
“ හෙට පිපෙන මල් අද රෑම
කට කොණින් හිනැහෙනවා පෙනෙයි
ඉවසන්න ඒවා පිපෙයි
දත් පෙනෙන්නේ තාමත් ටිකයි,
දුකක් කඳුලක් වුව ද එය විඳින මොහොතේ විශාල වේදනාවක් ගෙන දුන්න ද පසු කාලයක දී දුක දිනා ජය ගත් පසු ඒ දුක අතීතයේ සොඳුරු වින්දනයක් ලෙසට දැනෙයි. අප කළ යුත්තේ ජීවිතයට ගලා යාමට ඉඩ දීමයි.
---------- චාමිකා ජනානි ද සිල්වා----------------

2 comments: