තාරකා මුහුණු බලන කණ්ණාඩියෙන් ඒ මේ අත හරවා යළිත් ඒ තුළින් තම මුහුණ බැලුවා ය.
“ නරකම නෑ. කලින් පාවිච්චි කරපු එක වගේ කැතට පෙනෙන්නෙ නෑ.“ ඇය සිතුවා ය.
“ මිස් කණ්ණාඩිය හොඳද? ඇය පියවි ලොවට පිවිසියේ කණ්ණාඩි සාප්පුවේ සේවකයාගේ හඬිනි.
“ ආ! ඔ..ඔව් හොඳයි“
“ අනිත් කණ්ණාඩි වගේ නෙමෙයි, රාමු නැති නිසා පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන“
ඇය කණ්ණාඩියට මුදල් ගෙවා වහා සාප්පුවෙන් එළියට ආවා ය.
“ දවල් වැඩට යද්දි මට අලුත් කණ්ණාඩිය දාගෙන යන්න පුළුවන්“ තාරකා කමාට ම මුමුණා ගත්තේ සතුටිනි.
එහෙත් ඇස් කණ්ණාඩිය වෙනුවෙන් වැය කරන්නට සිදු වූ මුදල ගැන ඇයට මතක් විය. එය රුපියල් හයදහසක මුදලකි. හරියටම කිවහොත් තාරකාගේ වැටුපෙන් හරි අඩකි. තාරකා නවාතැන් ගන්නා බෝඩිමට රුපියල් හාර දහසක් ගෙවූ විට ඉතිරි වන්නේ රුපියල් අටදහසකි. කණ්ණාඩිය වෙනුවෙන් රුපියල් හයදහසක් ගෙවූ විට ඉතිරි මුදලින් අමතර ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදී අනෙකුත් කටයුතු වලට මුදල් ප්‍රමාණවත් නොවේ. මේ නිසා ඇය සිය මිතුරියක වන අනුෂ්කාගෙන් රු 4000ක මුදලක් ණයට ඉල්ලා ගත්තාය.
“ දැන් නම් මට කවුරුවත්ම හිනා වෙන එකක් නෑ කණ්ණාඩිය ගැන කියලා“
බොරැල්ලෙන් නාරාහේන්පිට බසයට ගොඩ වුණ තාරකා හිස් අසුනක් සොයා අසුන් ගත්තාය. ඇයට තම සේවා ස්ථානයේ මිතුරු මිතුරියන්ගේ උසුළු විසුළු මතකයට නැගුණි.
සේවා ස්ථානයේ පැවති පුහුණු සැසි වල දී මොනිකා, තාරකාගේ කණ්ණාඩිය පැළඳ ගත්තා ය.පුහුණු සැසි වලදී පැවැත් වූ ඇතැම් දේශන නීරස වූයෙන් ඒවා අවසන් වන්නේ කීයට දැයි සිතින් බැණ වදිමින් අපි නොසන්සුන්ව සිටියෙමු. මොනිකා මගේ කණ්ණාඩිය උදුරා ගත්තේ මේ නීරස දේශන වල දී කණ්ණාඩියට මුවා වී කෙටි නින්දක යෙදෙන්නට ය.කණ්ණාඩිය දැමූ විට බොහෝ විට ඈත සිට බලන කෙනෙකුට කණ්ණාඩිය දැමූ පුද්ගලයාගේ දෙඇස පැහැදිලිව නොපෙනේ.“කණ්ණාඩි අක්කා “, “ කණ්ණාඩි නංගී, කණ්ණාඩි මිසී ආදී නම් වලින් සේවා ස්ථානයේ දී තාරකාව හඳුන්වනු ලැබීය.ඇය හා වරෙක අමනාප වූ මිතුරෙක් තාරකා ඈතින් එනු දැක “ අන්න, කණ්ණාඩි පොළඟී එනවා “ යැයි කියනු ඇයට ඇසින. මේ සියල්ල ඇයට දැඩි මානසික පීඩාවක් ගෙනාවේ ය.
වරක් තාරකා රෝහලේ පිළිගැනීමේ අංශයේ සිටිය දී රෝහලේ කාමර පිළිබඳ විමසීමට තරුණයකු පැමිණ සිටියේ ය.ඔහු පැළඳ සිටි කණ්ණාඩිය රාමු රහිත වූ අතර කදිම හුරුබුහුටි බවකින් යුක්ත විය.එමෙන් ම ඔහු කණ්ණාඩියක් පැළඳ සිටි බව ඈ දුටුවේ ඔහු කවුන්ටරය වෙත ළං වූ පසු ය.
තාරකා තරුණයා හා කතා බහ කරන අතරතුර ඔහුගේ කණ්ණාඩියේ රූපය සිතේ ඇඳ ගත්තා ය. කෙසේ හෝ මෙවන් කණ්ණාඩයක් ලබා ගන්නෙමැයි ඇය අදිටන් කර ගත්තා ය.
...................................................................................................................................................................
“ මියුරු කල්පනා.... නෙතක දැල්වුණා..........“ ජංගම දුරකතනය නාදවන්නට විය.තාරකා සිටියේ දහවල එකේ සේවා මුරයට යන්නට සූදානමිනි. ඇය දුරකතනයට සවන් යොමු කළාය.
“ ආ... කණ්ණාඩි හාමිනේ කොහොම ද? අනෙක් පසින් ඇසුණේ නිලූකගේ හඬයි.
“ හොඳින් ඉන්නවා“
“ ඔයගෙ බෝතල් අඩි කණ්ණාඩි දෙක තියෙනව ද?“ ඔහු උපහාසයෙන් අසයි.
තමන් රාමු රහිත කණ්ණාඩියක් මිලදී ගත් බව නිලූකට කියන්නට සිතුණ ද තාරුකා නිහඬව සිටියා ය.
“ ගමේ ගියාම බලා ගන්නෙ නැතැයි මගේ කණ්ණාඩි දෙක“ ඇය තමන්ටම කියා ගත්තා ය.
“ මොක ද නිශ්ශබ්ද? කවද්ද ගමේ එන්නේ?
“ හෙට උදේ වරුවෙ වැඩ ඉවර වෙලා පිටකොටුවෙන් බස් එකට නගිනවා“ යි කියූ තාරකා වහා දුරකතනය විසන්ධි කළේ සේවා ස්ථානයට යාමට වේලාව ළං වූ නිසාය.
තාරකා සූදානම් වී මගට බැස්සාය. වෙනදා දැකපුරුදු බොහෝ දේ නුපුරුදු ලෙසින් හා නැවුම් ලෙසින් ඇගේ අලුත් කණ්ණාඩියට පෙනෙන්නට විය. කපුටන් තැන තැන ඇහිඳ දමා තිබූ පිළුණු අහර ද බල්ලන්ගේ වසුරුද ඇයට නොපෙනිණ. නගරයේ කුණු කාණු වලින් නැගෙනා දුර්ගන්ධය වෙනුවට රජමහා විහාරය අසල රුක් අත්තන ගහේ මල් වල සුවඳ ඇය අවට සරන්නාක් මෙන් දැණින.
දහවල දැඩි හිරු රෂ්මියත් නගරයේ දූවිල්ලත් විසින් නොසන්සුන් බවට පත් කළ ඇය වෙනදා නාරාහේන්පිට හන්දියෙන් පාර මාරුවීමට සිටියේ අධික නොඉවසිල්ලෙනි. එහෙත් අද ඇයට ඒ කිසිවක් පිළිබඳ නිනව්වක් නොවී ය. රෝහලට හැරෙන අතුරු මාර්ගයට හැරී ගමන් කරන ඇගේ දැහැන බිඳුනේ රෝහල් ගේට්ටුව අසල දී ය.
“ අද මිස් කලින් ම වැඩට ඇවිත් නේද? “ සේවකයන් සඳහා වූ ගේට්ටුවේ රාජකාරි කරමින් සිටි මුරකරුවකු වූ දිසානායක විමසීය. මුව පුරා පැතුරුණු සිනාවකින් ඔහු ට ප්‍රතිචාර දක්වමින් තාරකා රෝහල වෙතට පිය නැගුවා ය.
පිළිගැනීමේ නිලධාරීන් සඳහා වෙන් කර තිබූ කාමරයට ගිය තාරකා අලුත් කණ්ණාඩි පරෙස්සමෙන් ගලවා තබා වත්සුණු හා තොල් ආලේපන තවරා කොණ්ඩය ගෙඩියක් කොට බැඳ ගත්තා ය.ඇස් කණ්ණාඩිය පැළඳ ගෙන මුහුණ බලන කණ්ණාඩියෙන් මුහුණ බැලුවා ය. මඳක් පසුපසට වී යළිත් කණ්ණාඩිය පැළඳූ මුහුණේ රූසිරි බැලුවා ය. එවිට ම ආයිත්තම් වන කාමරයට පැමිණියේ පිළිගැනීමේ අංශයේ ජේෂ්‍යඨ නිලධාරිනියක වන නිරෝධා මහත්මිය යි. නිරෝධා තම කාර්ය මණ්ඩලයේ සියලුම ගැහැණුම ළමයින්ට තම දූවරුන්ට මෙන් කුළුපගව සලකන්නිය කි.
“ තාරුකා ! අද නම් මොකක් හරි වෙනසක් තියෙනවා. ඇය තම සුපුරුදු ළයාන්විත ස්වරයෙන් පැවසුවා ය.“
“ කෝ, මේ පැත්තට හැරෙන්න බලන්න! ආ.... ෆ්‍රේම් නැති කණ්ණාඩියක් අරගෙන. දැන් නම් කෙල්ලගෙ මූණට එළිය වැටිලා.“
“ මේ බලන්නකෝ දිනූකා අද තාරුකාගේ ලස්සන“
දිනූකා වඩා උනන්දුවෙන් තාරකා දෙස බැලුවා ය.
“ ආ.. තාරු, ඔයා අලුත් කණ්ණාඩිය ගත්ත ද?
“ තාරුකාගෙ ලස්සන අර පරණ කණ්ණාඩිය නිසා වැහිලා තිබිලා තියෙන්නේ. බලන්නකෝ දැන් මෙයාගෙ ලස්සන!
“ පිරිමි ළමයි එහෙම දැන් මෙයා දිහාම බලයි නේද නිරෝධා මිස්? දිනූකා පැවසුවේ ඇසක් වසා ඉඟි මරමිනි.
“ තාරු, බලන්න..මම ලස්සන ඇඳුමක් ගත්තා. මේ ඒකට ගත්ත කරාබු.. ලස්සනයි නේ ද? දිනූකා ඇගෙනි විමසයි.
කණ්ණාඩිය ගන්නට වියදම් නොකළා නම් තමාත් මෙවැනි අලුත් ඇඳුමක් මිලදී ගන්නවා නොවේ දැයි සිතෙන විට තාරුකාට සියුම් දුකක් දැනුණි.
--------------------------------------------------------------------------------------------------------
තාරුකා උදේ වරුවේ තම සේවා මුරය අවසන් කොට ඇඳ පැළඳ ගෙන වහා බසයට නැගුණේ සවස තුනයි තිහේ බස් රථය අල්ලා ගැනීමට ය. කොළඹ සිට පැය පහක් බස් රථයේ ගමන් කිරීමෙන් පසුව තවත් පැයක් තම ගමට යන බස් රථයේ ගමන් කරන්නට තාරකාට සිදුවේ. ඒ නිසා තාරකා යුහු යුහුව පිටකොටුවෙන් බැස මාතලේ බස් රථය සොයා ගෙන ගියා ය. බස් රථය ගමන් ආරම්භ කරන්නට සැර දමමින් සිටී. තාරකා වහ දිව ගොස් බස් රථයට ගොඩ වූවා ය.ඇගේ දෑස් බස් රථයේ එහා මෙහා ගමන් කළේ කවුළුවක් අසල ඇති ආසනයක් සොයමිනි. නමුත් කවුළු ආසන්නයේ තිබූ ආසන සියල්ල ම පිරී තිබුණෙන් තමාට ලැබූ අසුනින් සෑහීමට පත් වන්නට සිදු විය.
ටිකට් පත ගත් පසු බස් රථය සෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය. උදෑසන සිට අධිකව වෙහෙසට පත්ව සිටි තාරකාට දැනුණේ අධික තෙහෙට්ටුව කි. ඇය අලුත් ඇස් කණ්ණාඩිය පැනල් කැබැල්ලෙන් මනාව පිස දමා එහි ආවරණයට දමා අත් බෑගයට දමා ගත්තා ය. තෙහෙට්ටුව නිසා දෑස් පියවෙද්දී කණ්ණාඩිය බිම වැටෙතැයි තාරකා බිය වූවා ය.
තාරකා ඇඳුම් බෑගය උකුල මත තබා ඒ මත හිස තබා නිදන්නට වූවා ය. බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. පැය කිහිපයකට පසු තාරකා නින්දෙන් අවධි වූයේ බස් එථය එක් වර ම තදින් තිරිංග තද කළ විට ය. තාරකා දෙනෙත් හැර වටපිට බැලුවා ය.
“ බල්ලෙක් බස් එකට හැප්පෙන්න ගියා“ සෙනග අතරින් කෙනෙක් කියනු ඇසිණ.
තාරකා තමා දැන් සිටින්නේ කුමන නගරයේ දැයි දැන ගැනීමට වට පිට බැලුවා ය. කුඩා අකුරුවලින් සටහන්ව තිබූ නාම පුවරු ඇයට කියවා ගත නොහැකි විය. ඇය කණ්ණාඩිය දෑසෙහි රඳවා යළිත් නාම පුවරු කියෙව්වා ය. බස් රථය වරකාපොළ නගරය ට සේන්දු වෙමින් තිබුණි. බස් රථය අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි. වරකාපෙළ බස් නැවතුමේ බස් රථය නැවැත් විය.
“ ආ... වරකාපොළ බහින්න, වරකපොළ ටිකට් ඔක්කොම මෙතනින් බැහැ ගන්න“ බස් කොන්දොස්තරවරයා මහ හඬින් කෑ ගසයි.
තාරකාගේ ්සුනට පිටුපසින් හිඳ සිටි කාන්තාවක් වහා නැගිට බස් රථයේ ඉදිරියට ඇදෙන්නට වූයේ කලබලයෙනි. ඇගේ නොසැලකිල්ල නිසා තාරකාගේ කණ්ණාඩිය ඇගේ අත්බෑගයේ පැටලී වීසි විය. තාරකා කණ්ණාඩිය සොයද්දී දුටුවේ ඉහත කී කාන්තාවගේම අඩි උස් පාවහන් යුවලට පෑගී කුඩු විය.
අනේ ! මගේ අලුත් කණ්ණාඩිය! කියමින් තාරකා තම කණ්ණාඩිය පෑගූ කාන්තාවගේ ඔසරි පොටින් අදින්නට වූවා ය. කලබල වූ කාන්තාව තාරකා දෙසට හැරිණි.
‘‘ ඇයි මොකද?“ කාන්තාව විමසුවේ සැර පරුෂ හඬකිනි.
“ මේ ඔයා මගේ කණ්ණාඩිය පෑගුවා“ තාරකා කීවේ බොඳ වී ගිය හඬකිනි.
“ ආහ්! මේ.... මේ ඔ..ඔයා කණ්ණාඩිය මොකට ද බිම තියලා තිබ්බේ?
“ කණ්ණාඩිය බිම තිබ්බෙ නෑ, ඔයා හදිස්සියේ නැගිටලා යනකොට මගේ කණ්ණාඩිය ඔයාගේ බෑග් එකේ පැටලුණා. ඒක ඔයාට ම පෑගුණා.“ තාරකා පැහැදිලි කලේ ආයාසයෙනි. ඇගේ දෙනෙතට කඳුළු උනමින් තිබිණ.
“ ඔහ් ! මට සමාවෙන්න! මට පරක්කු වෙනවා “ කියමින් කාන්තාව බසයෙන් බැස ගියාය.
“ තාරකාගේ දෙනෙතින් නොකඩවා කඳුළු ධාරා ඇද හැලෙන්නට විය.
ඇය කඳුළු වැකි මුහුණ ඇඳුම් මල්ල මත තබා ගත්තාය.
“ කණ්ණාඩි පොළඟා“, කණ්ණාඩි අක්කා.... සේවා ස්ථානයේ මිතුරන් යළිත් උසුළු විසුළු කරනු ඇයට ඇසෙන්නට විය.ඇය දෑතින් ම දෙකන් වසා ගත්තා ය.
No comments:
Post a Comment