චන්දකින්නර ජාතකේ
කිඳුරිය ලෙසින් අපි හමුවුණා
උඹ පෙම්බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් ඉඳ වෙන් වුණා.......
ගෙට එන්ඩ පෙර කළ කී කතා
උඩුගම් බලා ගියො දෝ මෙදා
විෂ හී සරේ පුපවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා.......
අත දරුවො ගෙන මහ ගිරිදඹේ
තනිවම නගින්න ද පෙම් කළේ
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ......
ගේය පද
උබේනන්ද දිසානායක
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - කරුනාරත්න දිවුල්ගනේ
චන්දකින්නර ජාතකය යනු ඉතා සුප්‍රසිද්ධ ජාතක
කතාවකි. එ නිසාම චන්ද කින්නර ජාතකයේ ආභාසයෙන් අපූර්ව නිර්මාණ රැසක් බිහි වී ඇත.
ජාතක කතාවේ කියැවෙන ආකාරයට කිඳුරාත්
කිඳුරියත් ප්‍රේමයෙන් වෙලී සිටිනු දුටු දඩයමේ පැමිණි බ්‍රහ්මදත්ත රජු කිඳුරිය පිළිබඳ
සිතක් පහළ වී කිඳුරා වෙත විෂ හීසර මුදා හරියි. එහි දී හී සරය වැදී වැටුණු කිඳුරා බදා වැළඳගෙන හඬා වැලපී අවසන ඈ තම පති
භක්තියේ නාමයෙන් සත්‍ය ක්‍රියා කරන්නීය. එහි දී ශක්‍ර දෙවිඳුන් පැමිණ යළිත්
කිඳුරාට ප්‍රාණය ලබා දුන් බව පැවසේ.
වර්තමාන විවාහයන් බොහෝ විට සිදුවන්නේ වසර
ගණනක් ප්‍රේම කිරීමෙනි. එහෙත් ඇතැමුන් විවාහයට ඇතුළත් වූ පසු විවාහයේ උණුසුම
මැකෙන්නටත් පෙර දික්කසාද වෙති. මෙයට විවිධ හේතු ඇත. වසර ගණනක් පෙම් කළ ද ඔවුන් හමු
වී එක්ව ගත කරන්නේ ඉතා සුළු වේලාවකි. මේ සුළු මොහොතේ දී අනෙකාගේ අප්‍රසාදයට බඳුන්
වන වචන, හැසිරීම්,පුරුදු ආයාසයෙන් සඟවාගෙන සිටියි. ඉන් පසු දුරකතනයෙන් කතා බහ කළ ද
එහි ඇත්තේ සැබෑ ජීවන තොරතුරු නොව අනාගතය ගැන සිහින, පෙම් වදන් ආදියයි. මෙලෙස
ආයාසයෙන් සඟවා ගෙන සිටින පුද්ගල පෞර්ෂය, හැසිරීම්, පුරුදු ආදිය සැබෑ ලෙසම අත්දකින්නට හැකි වන්නේ එක වාසයකට
පැමිණි පසුය. පසුබිම් දෙකක හැදී වැඩී සමාජානුයෝජනය වුණු දෙදෙනෙකුට එක්ව ජීවත් වන
විට ඇති මේ පරස්පර ජීවන ශෛලියන් වලට අනුගත වන්නට අපහසු වෙයි. දෙදෙනා සාකච්ඡා කොට, එකිනෙකා තේරුම් ගනිමින් ජීවිතය
ගලපා ගැනීම් කරගත් අය මේ නොගැලපීම් මැද වුව සතුටින් ජීවිතය ගත කරති. නමුත් බොහෝ
දෙනාට නොගැලපීම් වලට අනුගත වෙමින් ජීවිතය සකසා ගැනීමට අවශ්‍ය ඉවසීම, සහජ බුද්ධිය
නොමැත.
ඇතැම් විට වෛවාහික දෙදෙනා එකිනෙකා අවබෝධයෙන්
ජීවත් වුව ද ඔවුන් අයත් පවුල් වල ඥාතීන්
නිසා ද නව කුටුම්භයේ ප්‍රශ්න ඇති වෙයි. මෙලෙස ඇති වෙන ගැටලු නිසා ද
දික්කසාදයන් බහුල වෙමින් පවතී.
උක්ත ගීතයේ කියවෙන පරිදි මේ පෙම්වතුන් යුවල
ද ප්‍රේමයෙන් බැඳී කාලයක් ගත කර ඇත. ඉන් පසු එක කුටුම්භයකට පැමිණ එක්ව ජීවත් වෙන
විට පැමිණි ප්‍රශ්න හමුවේ බිරිඳ අතදරුවා ද තනිකොට නික්ම යයි. ඇය යන්නේ මුදල් ප්‍රශ්න
නිසා ද නැත්නම් සැප පහසුකම් යාන වාහන සහිත වෙනත් පිරිමියෙකු හමු වීම නිසා ඇය ඔහු
සමග නික්ම ගියා ද යන්න පැහැදිලි නැත. “කළු
කාසියට හදවත් වැසේ ˜ යන්නෙන් ගම්‍ය වන්නේ අනෙකෙකුගේ ඉසුරට ගිජු වී
ඇය වෙනතක ගිය බවකි. චන්දකින්නර ජාතකයේ කිඳුරිය තම සැමියා වෙනුවෙන් සත්‍ය ක්‍රියා කර ඔහුගේ ප්‍රාණය යැද්දා වුවද වත්මන් කිදුරිය විෂ ඊතල සැමියාට විද
අත දරුවාද තනිකර නික්මෙයි.
මව් පියන්ගේ ගැටළු අවසන පීඩාවට පත් වන්නේ
දරුවන්ය. මව හෝ පියා අහිමිව තනිවන දරුවන්ගේ පෞරුෂයද බිඳ වැටෙයි. බිඳුණු පවුලක වැඩෙන දරුවන් වැඩිහිටියන්
වූ පසු ඔවුන්ගේ විවාහ ජීවිත ද බොහෝ විට අසාර්ථක වේ. මෙය චක්‍රයක්
ලෙස ගමන්කරයි.
කරුණාරත්න දිවුල්ගනේ ගේ පශ්චාත්තාපී
සැමියෙකුගේ වේදනාව හැඟවෙන හඬට රෝහණ වීරසිංහයන්ගේ ස්වරය මුසුවී ශෝකී රසයක් නංවයි. උබේනන්ද
දිසානායකයන් ගේ පද පෙළ ජිවන ගැටළුවක් මැනවින් විවිර කරයි.
චාමිකා ජනානි ද සිල්වා